ප්‍රධාන වශයෙන් වාතය දූෂණය වුණු පරිසරයක ජීවත්වෙමින්, එම පරිසරයේ සිට හුස්මගැණීම හා හුස්ම හෙළීම මගින් ඔබේ පෙනහැලි දෙකේ ක්‍රියාකාරිත්වය හොඳින් සිදු නොවීමට විශාල බලපෑමක් ඇති කරයි. පසුගිය වසර 10 කට වැඩි කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණ වලින් හෙළිවුණු කරුණක් නම්, දීර්ඝ කාලයක් තිස්සේ, අඩු හෝ මධ්‍යම මට්ටමේ වාතය ඇතුලු පරිසර දූෂණයන්ට ලක්වීම හෘද රෝග, ඇදුම රෝගය හා අනෙකුත් පෙනහළු රෝග වැළඳීම සඳහා වැඩි අවදානමක් ගෙන එන හේතුවක්, සාධකයක් බවට පත්ව ඇති බවයි. නව යෞවනයෙකු ලෙස, අද ඔබ හුස්ම ගන්නා වාතයේ ස්වභාවය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වන්නේ, එය හුදෙක් අනාගතයේ දී පමණක් නොව, දැන් ගතවෙන වර්තමානයට ද, බලපාන වැදගත් ප්‍රශ්නයක් වන නිසාය.
 
පෙනහළු වල ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා, නිදන්ගත ස්වාසනාලිකා ප්‍රදාහ රෝගය (Chronic bronchitis), ඇදුම රෝගය (Asthma) හා නිදන්ගත පෙනහළු ධමනි ප්‍රදාහ (Chronic Obstructive Pulmonary Disease) වැනි රෝගවලට ගොදුරු වූ රෝගීන් සංඛ්‍යාව වැඩිවීම සඳහා කෙළින්ම බලපා ඇත්තේ මනුෂ්‍යයින් හුස්මගන්නා වාතයේ රසායනික සංයෝග මට්ටම වැඩි, කාර්යබහුල මාර්ග ආසන්නයේ ජීවත්වීමයි. අප හුස්මගන්නා වාතයේ ඇති රසායනික අංශු පෙනහළු රෝග සෑදීම සඳහා සුවිශේෂ, සුවිශාල හේතුවක් වන බව වෛද්‍ය පර්යේෂණ මගින් අපට පෙන්වා දෙයි.
 
දුම් පානය COPD පෙනහළු රෝගවලට ප්‍රධාන හේතුව වන අතර, අපිරිසිදු වාතය හුස්මගැණීම නිසා මෙම ගැටළුව වඩාත්ම නරක අතට හැරී අයහපත් ප්‍රතිඵල රැසක් ඇති විය හැකියි.
මෙම තත්ත්වයට වහාම බලපාන ප්‍රශ්න සහ ගැටලු මේවාය :
- නාසයේ, ඇස්වල සහ උගුරේ ඇතිවන දැවිල්ල - නොරිස්සුම් ගතිය
- පපුවේ වේදනාව
- කැස්ස
- ආහාර දිරවීමේ ගැටළු
- ක්ලාන්තය; උණ
- අලසකම
- කිඹුහුම් යාම
- හුස්ම හිරවීම - කෙටි සුසුම්
- උගුර දැවිල්ල, හා ඇස්වලින් කඳුළු ගැලීම
මෙම නිසා රෝගීන්ට දෙන ඖෂධ වැඩි කිරීමට, වෛද්‍යවරයෙකු කරා යාමට, රෝහල් ගතවීමට හා අකල් මරණයකට ගොදුරුවීම ද සිදුවිය හැකියි..
වායු දූෂණය මත රඳා පවතින ශ්වසන ආබාධවල බලපෑම :
- දූෂක වර්ගය සහ ඒවායේ විවිධ මිශ්‍රණයන්
- අප අවට වාතයේ (මෙම දූෂක ද්‍රව්‍ය) එක් රැස්ව ඇති ප්‍රමාණය
- මෙම දූෂක ද්‍රව්‍ය වලට ඔබ ලක්වන, නිරාවරණය වන කාලය
- මෙම දූෂක ද්‍රව්‍ය හුස්ම ගැනීමෙන් ඔබ ඇතුලු කරගෙන ඇති ප්‍රමාණය
- ඒ වගේම, දූෂක ඔබගේ පෙනහලු වලට කාවැදී ඇති ප්‍රමාණය
එම දූෂක අංශුවල ප්‍රමාණය මත, නාසය සහ උගුර වැනි විශාලම ශ්වසන මාර්ගය තුළ ද, පෙනහැල්ලේ ඇති කුඩා ශ්වසන නාල තුළ සහ /හෝ කුඩා වායු කුටීර තුළ තැන්පත් විය හැකියි. මෙම සියලු තැන්වලදි දූෂක අංශු මගින් රිදීමක් සහ දැවිල්ලත් ඇති කරන්න පුලුවන්.
 
වායු දූෂණය, ගල් අඟුරු හා අනෙකුත් කාර්මික විදුලි බලාගාර, කර්මාන්ත, නැව් හා කෘෂිකාර්මික නිෂ්පාදන වලින් පමණක් නොව, ලැව්ගිනි වැනි ස්වාභාවික උපද්‍රව වලින්ද අප කරා පැමිණෙයි. දේශගුණික වෙනස්වීම් ද මෙයට බලපානු ලබන බව පෙනෙනවා.
 
මීට අමතරව, එය වායු දූෂක හා සම්බන්ධ වූ විට මල්වල ඇති රොන් පරාග පවා "ඇලජික්වන" - විෂවන -  හැකියාව වැඩිවෙන බව පෙනෙනවා.
 
මෙයින් වැඩි බලපෑමක් එල්ලවන්නේ කාටදැයි කියලා අනාවැකි කියන්න ලේසි නෑ. කෙසේ වෙතත්, දරුවන්ට, වැඩිහිටියන්ට සහ නව යොවුන් ගැටවර වියේ පසුවන්නන්ට ඇදුම, නිදන්ගත ස්වාසනාලිකා ප්‍රදාහ රෝගය, පෙනහළු හා හදවතේ ධමනි ශිරා රෝග වැළදීමේ ඉතා දැඩි අවදානමක් තිබෙනවා. එහිදී අපට උපතින්ම ලැබෙන ජානමය ලක්ෂණ, විෂවීම් (ආසාදනයන්) හා ගන්නා ආහාරවල ඇති පෝෂණයේ බලපෑමකුත් තිබෙන බව පෙනෙනවා.
 
මෝටර් රථවලින් පිටවන දුම්, පාරවල්, මහා මාර්ගවල දූවිලි හා දුමාරයන්, කර්මාන්තශාලා සහ බලාගාර වලින් නිකුත්වන රසායන ද්‍රව්‍ය දුම් හා දියර වශයෙන් පොම්ප කිරීමෙන්, බිම් මට්ටමේ ඕසෝන් ස්ථරයට කුඩා දූෂක අංශු එක්වීම, අප ජීවත්වන පරිසරයේ වායු දූෂණයට ප්‍රධාන වශයෙන් හේතුවෙනවා. තව ද, පරිසරයේ ඇති වාතයේ ගුණාත්මක භාවය, ශාක පරාගනය, භවභෝග අස්වැන්න සහ මල් වර්ග ද වලටද එලෙසම බලපායි.
 
ගිනි කඳු පිපිරීම්, ලැවු ගිනි, සුළං ධාරා හා ගස් වැනි ස්වභාවික දේවල් ද පරිසර දූෂණයට දායක වෙයි. කාර්ය බහුල මාර්ග, කර්මාන්ත ශාලා හා මිනිසුන් ගිනි තබන දේවල් (නොදිරන ද්‍රව්‍ය) නිසා ද පරිසර දූෂණය ඉහළ යයි.
 
මෙන්න වායු දූෂණයට බලපාන පොදු හේතු 6 ක් :

• අභ්‍යාවකාශයේ ඕසෝන් ස්ථරය
• අංශු වශයෙන් එක්වෙන දේවල්
• කාබන් මොනොක්සයිඩ්
• නයිට්රජන් ඔක්සයිඩ්
• සල්ෆර් ඩයොක්සයිඩ්
• ඊයම්

වායු දූෂණයෙන් ආරක්ෂාවට  ඔබට ගත හැකි පියවර - ක්‍රියාමාර්ග :

•   දේශීය කාලගුණ වාර්තා මගින් වාතයේ ගුණාත්මක භාවය නිරීක්ෂණය හා අධීක්ෂණය
•   නිවස තුළ වවා ඇති, පුස් හා රෝග බෝවූ ශාක(මල්ගස්) ඉවත් කරන්න
•   වායු සමීකරණ යන්ත්‍රයකින් නිවස තුළට එන වාතය පෙරා පිරිසිදු කරගන්න.
• ඔබට ඇදුම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, එළිමහනේ කරන වැඩ සීමා කරන්න.
•  දූෂක අංශු වැඩිවන විට, ඔබේ දොරජනේල වසාගෙන නිවස තුළ සිටින්න.
•  කාර්යබහුල වෙලාවල, විශේෂයෙන් ජනාකීර්ණ මාර්ග අසල එළිමහනේ කරන වැඩවලින්  වැළකී සිටින්න.
•  ශරීර සුවතාවය සඳහා ඇවිදින හෝ එළිමහන් ව්‍යායාම් වල නිරත වන විට, පරිසර දූෂණය අඩු  වෙනත් විකල්ප මාර්ග ගැන අවධානය යොමුකරන්න. සැලකිලිමත් වන්න. 

ඇතුළත සිදුවන (ගෘහස්ථ) වායු දූෂණය......

ඇතුළතක එනම්, නිවසක්, පාසල් හෝ වෙනත් ගොඩනැගිල්ලක් තුළ සිදුවන වායු දූෂණය භෞතික, රසායනික සහ ජීව විද්‍යාත්මක කරුණු මත පදනම් වෙයි. ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල ඇති විවිධ තත්ත්වයන්, මෙම ''ගෘහස්ථ'' වායු දූෂණය සඳහා බලපායි.

අ. ග්‍රාමීය සහ නාගරික මුඩුක්කු ප්‍රදේශ

ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල, ග්‍රාමීය ප්‍රදේශවල හා නාගරික මුඩුක්කුවල ජීවත්වන්නන්ට මුහුණදීමට සිදුවන බරපතලම තර්ජනය නම් මේ ගෘහස්ථ වායු දූෂණයයි.  ලොව පුරාම බිලියන 3.5 ක් ජනතාව, ගෙදරදොරේ ආහාර පිසීම හා පිළියෙල කිරීම සඳහා දර, අඟුරු, භූමිතෙල්, ඉවතලන ද්‍රව්‍ය, පොලිතින් බෑග්, ප්ලාස්ටික් කෝප්ප වැනි සාම්ප්‍රදායික ''දාහන ක්‍රම - ඉන්ධන'' නිරතුරුවම භාවිතා කරනවා. මෙලෙස ඇහුරුණු කුඩා නිවසක් ඇතුළත, වාතාශ්‍රයේ දුම් සහ වායු දූෂක ද්‍රව්‍ය අංශු විශාල ප්‍රමාණයක් එක්රැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස රෝගාබාධ වලට ගොදුරුවීමේ අවදානම ඉහළයයි. කාන්තාවන් හා දරුවන් නිවෙස තුළ වැඩිකාලයක් ගතකරන බැවින්, ඔවුන් මේ දුමාරයේ පීඩාවට වැඩි වශයෙන් අසුවෙයි.

 
1992 දී ලෝක බැංකුව, සංවර්ධනය වෙමින් පවතින රටවල සිදුවන මේ ගෘහස්ථ වායු දූෂණය ඉතා තීරණාත්මක ගෝලීය පාරිසරික ගැටලු හතරෙන් එකක් ලෙස හඳුනාගන්නා ලදී. බොහෝ විට දිනපතාම පාහේ සිදුවන මේ වායු දූෂණයේ මට්ටම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ - WHO - මාර්ගෝපදේශ හා පිළිගත් සම්මත මට්ටම ඉක්මවා යන්නකි.
 
ආහාරපාන පිසීම සඳහා නිවෙස්වල භාවිතා කරන ජෛව ඉන්ධන දාහන ක්‍රම මගින් ඇති කරන, වායු දූෂණය සඳහා හේතුවන රසායනික ද්‍රව්‍ය සිය ගණනක් අතරින්, අංශුමය දූෂණ ද්‍රව්‍ය, කාබන් මොනොක්සයිඩ්, බහු චක්‍රීය කාබනික ද්‍රව්‍ය සහ ජලයේ දියවෙන වායු යන වර්ග සතර, ඉතාම දරුණු දූෂකයන් වන බවට හඳුනාගෙන තිබෙනවා.
 
ආ. නාගරික ප්‍රදේශ
ඉතා ළඟ ළඟම - වෙන් නොවුනු ලෙස නිවෙස් සාදා තිබීම, වාතාශ්‍රය ලැබීම අඩුවීම, නිවස සෑදීමට සහ ඇතුළත ඇති බඩු භාන්ඩ සඳහා කෘත්‍රිම දැව ආදිය භාවිතා කිරීම සහ රසායනික නිෂ්පාදන, කෘමි නාශක භාවිතය වැනි බොහෝ හේතූන් නිසා නාගරික ප්‍රදේශවල ගෘහස්ථ වායු දූෂණය ඉහළ යයි. ගෘහස්ථ වායු දූෂණය ගොඩනැගිල්ල තුළින්ම හෝ එළිමහනේ සිට ඇතුළට ආ හැකියි. වටවී ඇහුරුණු ප්‍රදේශයක වාතාශ්‍රයේ දූෂණයට බලපාන, නයිට්රජන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් සහ ඊයම් වැනි දේවල් වලට වඩා, වෙනත් බොහෝ දූෂක තිබෙනවා. එම දූෂක කීපයක් පිළිබඳව පහතින් දැක්වෙයි.
 
-  වාෂ්පශීලී කාබනික සංයෝග
ප්‍රධාන වශයෙන්ම මේවා සාදා ඇත්තේ වාෂ්ප වන ස්ප්‍රීත්තු සහ රසායන ද්‍රව්‍ය වලින්ය. සුවඳ විලවුන්, හෙයාර් ස්ප්‍රේස්, ලීබඩු පොලිෂ්, අලවන මැළියම්, උගුර කට හෝදන මවුත්වොෂ්,  දැව ආරක්ෂණ පේන්ට් සහ නිවසේ පාවිච්චි කරන අනෙකුත් නිෂ්පාදන මේ අතර ප්‍රධාන වෙයි. මේවායින් ශරීරයට දැනෙන ප්‍රධාන බලපෑම නම් ඇස්, නාසය සහ උගුර දැවිල්ලයි. වඩාම බරපතල අවස්ථාවලදී හිසරදය, ඔක්කාරය සහ එකිනෙකා හඳුණාගැනීමට නොහැකිවීමක් සිදුවෙන්න පුලුවන්. කාලයක් යනකොට, සමහර දූෂකයන්ගෙන් ඔබේ අක්මාවට සහ ශරීරයේ වෙනත් ස්ථානවලට හානි සිදුවේයැයි සැකයකුත් තිබෙනවා.
 
-  දුම්කොළ දුම්
මෙමගින් හානිකර රසායනික ද්‍රව්‍ය රාශියක් උත්පාදනය වෙනවා පමණක් නොව පිළිකා සෑදීමට හේතුවක් ද වෙනවා. හොඳින් දුම්පානය කරන්නෙකුට ඇස් දැවිල්ල ද, පිළිකාව, බ්රොන්කයිටිස්, දරුණු ඇදුම සහ පෙනහළු ක්‍රියාකාරීත්වය අඩුවීම දක්වා පැතිරෙන නහය සහ උගුර දැවිල්ලක් ද හැදෙන බව කවුරුත් පාහේ දන්නා දෙයක්. 
-  මදුරු දඟර සහ සුවඳ දුම් දැල්වීම
- කෘමි නාශක
- පළිබෝධ නාශක
-     ජීව විද්‍යාත්මක දූෂක
ජීව විද්යාත්මක දූෂකයන් ලෙස සලකන්නේ ශාකවලින් සිදුවන පරාගනය, ගුල්ලන්,  වේයන්, සුරතල් සතුන්ගේ මවිල්, පුස් - දිලීර, පරපෝෂිතයින් සහ සමහර බැක්ටීරියා වර්ගයි.  මේවා බොහොමයකින් ඇලජික් තත්ත්වයන් (අසාත්මිකතාවන්) සහ ඇදුම රෝගය, පරාග හා  දූවිලි නිසා ඇස් නාසය හා උගුරේ දැවිල්ල ඇතිකරමින් එන ''පිදුරු'' උණ, සහ අනෙකුත්  ඇලජික් (ආසාත්මික) රෝග ද ඇති විය හැක.
        -  හුස්ම හිරවීම
 හුස්ම ගැණීමේදී බුමුතුරුණු(කාර්පට්) සහ ලී කුඩු ආදියෙන් සෑදූ බොඩ් වලින් නිකුත්වන්නේ  සැර ගෑස් එකකි. එය ඇස් හා නාසය අසාමාන්‍ය අයුරින් දැවිල්ලකට ලක් කරයි. සමහර විට,  සමහර අයට ඇලජික් (ආසාත්මික) බවක් ඇති කරන්න පුලුවන්.
        - කුණු ඉවත්කරන රසායන ද්‍රව්‍ය
        -  ඇස්බැස්ටෝස්
 පිළිකා ඇති කරන බවට සැක කරන ප්‍රධාන සාධකයක් ලෙස අවධානය යොමුකළ යුතුය.
       -  රෙඩෝන්
රෙඩෝන් කියන්නෙ, පස් වලින් ස්වභාවිකව නිකුත් කරන විකිරණශීලී ''ගෑස් '' එකක්. නවීන නිවාස වල ජනෙල් දොරවල් අඩුවීම සහ වැඩිපුර ඒවා වසාගෙන සිටීම නිසා සිදුවන වාතාශ්‍රයේ අඩුවීම එහි පදිංචි කරුවන්ට අහිතකර ලෙස බලපෑ හැකියි.
      -   භූමිතෙල්
වායු දූෂණය සෞඛ්‍යය කෙරෙහි සිදුකරන බලපෑම්
ශ්වසන රෝග සහ ආසාදන
1. ඇදුම (වැඩි තොරතුරු  www.asthma podiththo.com අඩවියයෙන්)
2. නිදන්ගත පෙනහළු ධමනි ශිරා ප්‍රදාහයන් (COPD)
3. පෙනහළු පිළිකා
 
විනෝදාංශ සහ ක්‍රියාකාරකම් පෙනහළු සෞඛ්‍යය කෙරෙහි කරන බලපෑම
(පරෙවියන් සහ සුරතල් පක්ෂීන් බෝකිරීම/ඇතිකිරීම සහ ඔහුගේ/ඇයගේ පෙනහළු)
 
කුරුල්ලන්ට ආදරය කරන්නන්ගේ පෙනහැල්ල එක්තරා විදියකට අධි සංවේදිතාවක් දක්වනවා කුරුළු බෙටිවලට සහ උන්ගේ ඇගේ ගෑවිලා තියෙන දූවිලි කුණුවලට. ඔහුගේ පෙනහැල්ල මේ බාහිරව එන කුරුළු උවදුරු සාදන අංශු හඳුණාගෙන ඊට විරුද්ධව, ආසාදනයක් හෝ දැවිල්ලක් ලෙස ප්‍රබල සටනක් ආරම්භ කරනවා. මෙම කුරුළු උවදුරු සාදන ප්‍රෝටීනය, වියළි කුරුළු බෙටි, කොලරොඩු, වියළි දූවිලි වල මෙන්ම පරෙවියන්ගේ, බටු ගිරවුන්ගේ, කොන්ඩ ගිරවුන්ගේ, කොබෙයියන්ගේ සහ කුකුළන්ගේ පිහාටු වලින්, මිනිස් ශරීරයට ඇතුලු වෙයි. එහෙත් එක් එක් අයගේ ශරීරවල රෝග අංශූන්ට තිබෙන්නාවූ සංවේදිතාවය අනුව කුරුල්ලෝ ඇති කරන සෑමදෙනාටම මේ රෝගය හැදෙන්නෙ නැහැ. මීට අමතරව අධිසංවේදී නියුමෝනියාව, නාසය තුළ සෙම හිරවීම, කිවිසුම් යාම සහ ඇතැම් ආකාරයේ ඇදුම රෝගී තත්ත්වයන් ඇති කිරීමට සමත් දූවිලි  කුරුල්ලන් අපිට තෑගි කරනවා. සමහර විටෙක, මෙම දූවිලි සඳහා සුලුවෙන් ඇලජික් (අසාත්මික) ප්‍රතිචාර දක්වන අය හෝ කිසිම ප්‍රතිචාරයක් නොදක්වන අය, ඉතා දිගු කාලයක් තිස්සේ කුරුළු දූවිලි සඳහා නිරාවරණය වීමෙන් මෙම ඇලජික් (ආසාත්මික) රෝග හැදෙන්න පුලුවන්.
 
මෙම රෝගය සියුම් ලෙස හා නිදන්ගත යන දෙයාකාරයෙන්ම සෑදිය හැකියි.  ආරම්භයේදී සායනික රෝග ලක්ෂණ වෙනස් විය හැකියි. පෙනහළු ඇතුළත ඇති සිහින් පටක ඝණවී, කැසීමක් ඇතිවී, හුස්ම ගැණීමට අපහසුතාවක් ඇතිවී, පෙනහළු මතුපිට බරපතල තුවාල සිදුවිය හැකියි. මේ නිසා අවසානයේ දී හුස්ම ගැණීමට නොහැකිවීම සහ මරණයද අත්විය හැකියි.
 
 
 
 
 
 
FaLang translation system by Faboba