වෛරසයකින් හැදෙන, මදුරුවකුගෙන් බෝ වන, මාරාන්තික රෝගයක් තමයි ඩෙංගු. ශ්‍රී ලංකාව වගේ ඝර්ම කලාපීය රටක ජීවත් වන නව යොවුන් වියේ පසුවන ඔයා මේ ගැන දැනුවත් වෙන්න ඕනේ ඒක අපේ රටේද පැතිරී යන රෝගයක් නිසයි. වෛරස් ප්‍රභේද හතරකින් තමයි ඩෙංගු බෝ වෙන්නේ. අධික උණ වගේ ඇඟේ පතේ වේදනාව ප්‍රධාන රෝග ලක්ෂණ යි.

ඩෙංගු වෛරසයක් හින්දා හැදෙන උණ රෝගයක් වුනත් ඒක අනිත් වෛරස් උණ වලට වඩා බෙහෙවින් වෙනස්. ඒ ඩෙංගු වල දී සංකූලතා ඇතිවෙලා මරණයට පත්වෙන්න පවා ඉඩ තියෙන නිසා. සාමාන්‍ය වෛරස් උණ එහෙම බරපතල තත්ත්ව ඇති කරන්නේ නෑ. ඩෙංගු වලදී ඩෙංගු රක්තපාත උණ සංකූලතා වශයෙන් ඇතිවෙලා රුධිර පීඩනය පහත වැටිලා, අභ්‍යන්තර රුධිර වහනය සිදුවෙලා අපේ රටේ යොවුන් වියේ තරුණ තරුණියන් බොහෝ දෙනෙකුගේ ජීවිත නැති වෙලා තියෙනවා.

නැහැ. ඩෙංගු උණ වැඩි දෙනෙකුට සාමාන්‍ය වෛරස් උණක් වගේ, උණයි, ඇඟේ පතේ වේදනාවයි විදියට හැදිලා ටික දවසකින් සුවවෙනවා. තමන්ට රෝගයක් වැළඳුන බවක්වත් සමහරු දන්නේ නෑ. ඒත් සමහරුන්ට මාරාන්තික සංකූලතා ඇති වෙන්න පුලුවනි. ඔහොම වෙන්නේ කොයි රෝගියාටද කියලා කාටවත් අනාවැකි කියන්න බෑ. රෝගය වැළඳුන මුල් අවස්ථාවේම වෛද්‍යවරයෙකු ගාවට යන එක වැදගත් වෙන්නේ ඒ නිසයි.

රෝගය බරපතල වන අවස්ථා වලදී අපේ සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය ඩෙංගු වෛරසය එක්ක ලොකු සටනක් දෙනවා. ඔයාට උණයි ඇඟේ පතේ වේදනාවයි ඇති වන්නේ එතකොට. මෙම සටනෙදි සිරුරේ තියෙන සමහර ව්‍යුහයන් ට හානි වෙනවා. රුධිර පට්ටිකා වගේම සුදු රුධිරාණුත් විනාශ වෙනවා. ලේ කැටි ගැසෙන්න අවශ්‍යම වෙන රුධිර පටිටිකා ප්‍රමාණය මේ විදියට අඩුවෙලා ලේ වහනය වෙනවා. උණ අඩු වෙනකොට කුඩාම රුධිර වාහිනී වෙන කේශ නාළිකා වලින් පැය 48ක් විතර දියර පිට වෙනවා. එහිදී ඇල්බියුමින් වගේ පොඩි ප්‍රෝටීන් අණු ලේ නහර වලින් ඉවත් වෙලා උරස් කුහරයෙයි උදර කුහරයෙයි එකතු වෙන නිසා ලේ වල සාන්ද්‍රණය වැඩි වෙලා රුධිර පීඩනය අඩුවෙනවා. කලාතුරකින් සමහර රෝගීන්ට හෘදයේ, අක්මාවේ වගේම මොළයේ සංකූලතා ඇති වෙන්න පුලුවනි.

රෝගය බරපතල වෙන්නේ නැති අවස්ථා වලදි, දින 5-7 දක්වා කාලයකදී උණ අඩු වෙලා, ආහාර රුචිය ඇතිවෙලා, ක්‍රමයෙන් සුව අතට හැරෙනවා.

රෝගය බරපතල වෙන අවස්ථා වලදී උණ අඩු වුනත් රෝගියාට සුවයක් දැනෙන්නේ නෑ. රෝගය හැදිලා දවස් 5-7 අතර කාලයකදී රෝගය උත්සන්න වන බවට අනතුරු ඇඟවීමක් දෙන වැදගත් අවස්ථාවක්. මේක සමහර අවස්ථාවල තුන් දවසකින් මේක වෙන්න පුලුවන්. මේ නිසා උණ අඩුවුණාට පස්සෙත් රෝගී ගතිය දිගටම තියෙනවා නම් රෝහල්ගත වෙන්න ඕනෙ.

ගර්භණී මව්වරුන්ට, ළදරුවන්ට, වයස් ගත අයට, ශරීරය තරබාරු අයට, දියවැඩියාව තියෙන අයට, වකුගඩු රෝගීන්ට හා රුධිර ගත රෝග තියෙන අයට ඩෙංගු රෝගය වැළඳුනොත් ඒක බරපතල වෙන්න පුලුවන්. ඒ ගොල්ලන්ව ඉක්මනින් වෛද්‍යවරයෙකු ළගට ගෙනියන්න ඕනෙ. ළඟ පාත වෛද්‍යවරයෙකු නැති නම් ඒ වගේ අවධානමක් තියෙන අයව කල් ඇතුව රෝහල් ගත කරන්න ඕනේ.

ඩෙංගු උණ පැතිරෙන්නේ, ඩෙංගු වෛරසය ශරීර ගත වුණු මදුරුවන්ගෙන්. අපේ රටේ තියෙන උණුසුම් තෙතමනය සහිත කාලගුණය ඩෙංගු මදුරුවන්ට බෝ වෙන්න නියම පරිසරයක්. පරණ ටයර්, පොල් කටු, ඉවත විසි කරන ප්ලාස්ටික් බඳුන්, හෝ ජලය එකතු වන ඕනෑම ස්ථානයක ඩෙංගු මදුරුවන් බෝ වීම සිදුවෙනවා. ඔයා ජීවත් වන්නේ සෞඛ්‍යයට අහිතකර, ඒ කියන්නේ කුණූ කඳු, අවහිර වෙච්ච කාණු පද්ධති වගේ මදුරුවන්ට බෝ වෙන්න පුලුවන් තැන් අසල නම් ඩෙංගු බෝ වීමේ වැඩි අවධානමක් තියෙනවා.

ඩෙංගු වෛරසය තියෙන මදුරුවෙක් දෂ්ට කරලා දවස් 4-7 වෙද්දි රෝග ලක්ෂණ පහළ වෙන්න පුලුවන්. දවස් 14 ද කාලයක් වෙනකම් වුනත් රෝග ලක්ෂණ මතුවෙන එක පමා වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ දවස් 5-7 ක් විතර පවතිනවා. ඒ විතරක් නෙමේ ඩෙංගු රෝග ලක්ෂණ රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙන්නත් බරපතලකම අඩු වැඩි වෙන්නත් පුලුවන්.

  • සාමාන්‍ය ඩෙංගු උණ රෝග ලක්ෂණ.
  • අධික උණ, සමහර විට වෙව්ලීම සහිත
  • හිසරදය
  • ඇස් පිටුපස වේදනාව
  • සන්ධි සහ මාංශපේශී වල දැඩි වේදනාව
  • මහන්සි ගතිය, සමහරවිට දින කීපයක් හරි සති කිහිපයක් හරි පවතින්න පුලුවන්
  • පළු මතු වීම, සමහර විට කැසීම් සහිතව කලින් රෝගය වැළඳුන නැති අයට පළු මතු වීම සුලබය
  • ආමාශගත ආබාධ වන ඔක්කාරය වමනය සහ පාචනය
  • කැස්සල උගුරේ වේදනාවල නාසය තදවීම
  • කළු පැහැයෙන් මළ පිටවීම
  • ඇස් රතු වීම

වෙනත් ඩෙංගු වෛරස් ප්‍රභේදයකින් ඔබට අතීතයේදී ඩෙංගු වැළඳී තිබුණොත්, ආයෙත් ඩෙංගු හැදෙන විට රෝග ලක්ෂණ උත්සන්න වෙනවා.

  • උග්‍ර ඩෙංගු රෝග ලක්ෂණ÷
  • තදබල උදර වේදනාව
  • ඇඳෙන් නැගිටින විට ක්ලාන්ත ගතිය
  • නිදිමත ගතිය, තදබල දුර්වල ගතිය
  • ආහාර අරුචිය, වමනය
  • දියර වර්ග පානය කළද මුත්‍රා පිට නොවීම
  • පපුවේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුතාවය
  • සමේ කුඩා දම් පැහැ පළු මතුවීම
  • නාසයෙන් ලේ ගැළීම
  • කළු පැහැ මළ පිටවීම
  • තදබල හිසරදය, වළිප්පුව
  • ඔසප් චක්‍ර දෙකක් අතර රුධිරය පිටවීම

උණ සමග මේ රෝග ලක්ෂණ පෙන්නුම් කළොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න

ඩෙංගු රෝගය සඳහා පරීක්ෂණ තියෙනව ද?
ඔව්,
වෙද්‍යවරයකු වෙත පැමිණියහොත්, රෝගියා ගේ රෝග ලක්ෂණ අහලා, පරීක්ෂා කරලා, අදාළ පරීක්ෂණ කිරීමෙන් පස්සේ රෝග නිර්ණය කරන්න පුලුවනි. මූලිකව සම්පූර්ණ රුධිර සෛල ගණනය කිරීමේ පරීක්ෂාව සිදුකරනවා. ඒකෙදි සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා තියෙන්න ඕනෙ ප්‍රමාණයට වඩා අඩු නම්, උණයි අනෙක් රෝග ලක්ෂණයි අනුව ඔයාට වැළදිලා තියෙන්නේ ඩෙංගු කියලා සැක කරනවා. මේකට අමතරව dengu antibody testing පරීක්ෂණයෙන් රෝගය ස්ථිර වශයෙන් වැලඳී ඇතිදැයි සොයා ගන්න පුලුවනි.

  • ඔයාට නිසි ප්‍රතිකාර ගන්න පුලුවන් වෙන්නේ පමා නොවී රෝහල් ගත වුණොත්. ශ්‍රි ලංකාවේ බොහෝ ඩෙංගු මරණ සිදු වෙලා තියෙන්නේ රෝහල් ගතවීම පමා වීමෙන්.

    ඩෙංගු වෛරසය විනාශ කිරීමට නිසි ප්‍රතිකාරයක් තවම හොයාගෙන නෑ. වෛද්‍යවරුන්ට රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන්න පුලුවන්.

    උණ, වමනය, ඇඟපත වේදනාව වගේ ඒවට ඖෂධ වලින් ප්‍රතිකාර කරනවා. දියර වර්ග රුධිරයට සේලයින් මාර්ගයෙන් ලබා දෙනවා.

    අධික ලෙස රුධිර වහනය සිදු වෙනවා නම් රුධිර පාරවිලනය කියන වෙනත් කෙනෙකුගෙන් ලබා ගත්ත ලේ රෝගියාට ශරීරගත කරනවා.

    මූලික පරීක්ෂණ වලින් ඔයාට ඩෙංගු රෝගය තියෙනවා කියලා නිර්ණය කළොත්, රෝග ලක්ෂණ උග්‍ර නැති නම් විතරක් ගෙදර ඉදන් ප්‍රතිකාර කරන්න පුලුවනි. ඒත් දිනපතා ම වෛද්‍යවරයක් වෙත ඇවිත් ලේ පරීක්ෂාවක් කරන්න ඕනෙ. යම් කිසි සංකූලතාවක් ඇති වෙනවද කියලා වෛද්‍යවරයෙක්ගේ නිරීක්ෂණය යටතේ ඉන්න එක අත්‍යවශ්‍යයි. ඒත් එහෙම කරන්න පහසුකම් නැත්නම් දිනපතා රුධිර පරීක්ෂාව කරන්න ඕනෙ නිසා රෝහල් ගත වෙලා එය සිදු කරගන්න වෙනවා.

 

ඔයා වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කරලා නිවසේ ඉදලා ප්‍රතිකාර කරන්න තීරණය කළොත් පාවිච්චි වෙන්න ඕනෙ කොහොමද?

  • ඇඳට වෙලා විවේකයෙන් ඉන්න එක ඉතා වැදගත්.
  • දියර වර්ග නිතර පානය කරලා විජලනයෙන් තොර ව ඉදීම ද ඉතා වැදගත්.
  • උණ සඳහා පැරසිටමොල් විතරක් භාවිතා කරන්න. කිසිම වෙලාවක් Aspirin,Brufen,NASID, Diclofenac Sodium වගේ ඖෂධ භාවිත නොකළ යුතු ය. ඒ වායින් ලේ කැටි ගැසීම අඩු කරනවා.
  • ඩෙංගු වැළැක්වීම
  • ඩෙංගු වෛරසය විනාශ කිරීමට නිසි ඖෂධයක් නැත.
  • ඩෙංගු රෝගය වැළැක්වීමට එන්නතක් නැත.
  • කරන්න පුලුවන් එක ම සහ පලදායි ම දේ නම් මදුරුවන් බෝ වීම අඩු කිරීමත් මදුරුවන්ගේ දෂ්ට කිරීමෙන් වැලකී සිටීමත් ය. ඒ සඳහා පහත පියවර ගැනීම යෝග්‍යය.
  • ඩෙංගු මදුරුවන් දවසේ ක්‍රියාත්මක වෙලා ඉන්න කාල සීමාවේදි නිවෙස් ඇතුළට වෙලා ඉන්න එක. ඒ මදුරුවො වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නේ උදේ වරුවෙයි සවස් වරුවේ ගොම්මන් වෙලාවෙයි නිසා.
  • ඒ කාල සීමාවේ පිටතට යද්දී සිරුරු ආවරණය වෙන විදියට ඇඳුම් ඇදගෙන පාවහන් දාගෙන යන්න ඕනේ. පොඩි දරුවෝ ගෙවල් වල හිටියත් හවසට ඇග ආවරණයවී කකුල් ද වැහෙන විදියට පාවහන් පැලඳීම සුදුසු ය.
  • මදුරුවන් විකර්ෂණය වන ස්ප්‍රේ වර්ග හෝ ක්‍රිම් වර්ග ආලේපනය කිරීම
  • නිවස අවට මදුරුවන් බෝ වෙන්න පුලුවන් හැම තැනක්ම නිති පතා ඉවත් කිරීම අත්‍යවශ්‍යයි. නිවෙස ඇතුලේ වතුර එක්රැස් වන තැන් හැමදාම පිරිසිදු කරන්න ඕනෙ. පහත තියෙන දේවල් හරියට අනුගමනය කරන්න.
  • කුණු කසල නිසි පරිදි බැහැර කරන්න.
  • ජලය රැස් විය හැකි කුඩා ප්ලාස්ටික් බඳුන්, යෝගට් කෝප්ප, රඹුටන් ලෙලි, සිලි බෑග් කිසි වෙලාවක නිවස අවට දාන්න එපා.
  • වැහි පිහිලි ශුද්ධ කරන්න.
  • ජල ටැංකි හොඳින් අතුල්ලා ශුද්ධ කරන්න.
  • කාණු ශුද්ධ කරන්න.
  • මල් පෝච්ච්, කුහුඹු උගුල්, ශීතකරණ වල ජලය රැස් වන ස්ථාන, නිති පතා පිරිසිදු කරන්න.
  • ජලය එක්රැස් වන ස්ථාන සහිත සමහර මල් ගස් ඉවත් කරන්න.
  • ඩෙංගු මදුරුවන් බෝ වෙන්නේ පිරිසිදු ජලයේ. ඉතා කුඩා ජලය ප්‍රමාණයක් වුනත් මදුරුවන්ට බිත්තර දාන්න සෑහෙනවා. මදුරු බිත්තර ජලය නැති පරිසරයක වුනත් බොහෝ කලක් තිබිලා ආයේ වැස්ස කාලයෙදි ක්‍රියාත්මක වෙන්න පුලුවනි.

ජාතියේ ජීවනාලිය වන යොවුන් ඔබ මෙම මාරාන්තික රෝගයෙන් වැළකී, ජනතාව බේරා ගැනීමට වහ වහා ක්‍රීයාත්මක වීම අපේ බලාපොරොත්තුවයි. ඒ වගේම එය සෑම පුරවැසියෙකුගේ ම පැහැර හැරිය නොහැකි වගකීමක්.

 

/sliders}