ඇයි ඇලජික්ද?

යම් නොගැළපෙන දෙයක් ගැන හරි කෙනෙක් ගැන හරි ඉබේම ඔයාගේ මුවින් පිටවෙන ‘ඇලජික්’ කියන වචනය, ඉංග්‍රීසියෙන් Allergy විදියටත් සිංහලෙන් අසාත්මිකතාවය විදියටත් කියවෙනවා.

ඔයා ගන්න සමහර ආහාර වර්ග හරි, දූවිලි මල් රොන් වගේ දේවල් හරි ඔයාගේ සිරුරට නොගැළපුණාම මේ අසාත්මිකතාව ඇතිවෙනවා. ඔයාගේ මුවින් සමෙන් හෝ ශ්වසන මාර්ගයෙන් ඇලජි වෙන දෙයක් ඇඟට ඇතුළු වුණොත් ඔයාට අසාත්මික තත්වයක් ඇතිවෙනවා. එහෙම ඇලජි වුණාම බහුලව ඇතිවන රෝග ලක්ෂණ තමයි සම මතුපිට කැසීම, දැවිල්ල වගේම ඇදුම තත්ත්වය. ඔයාට යමක් ඇලජි වුණාම සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒකට විරුද්ධව ක්‍රියා කරන නිසා, සමහර ඇලජි කෙටි කාලයකින් නැතිවෙනවා. හැබැයි සමහර ඇලජි වලින් ජීවිත හානි කරන අවදානම් තත්වයක් පවා ඇතිවෙන්න ඉඩ තියෙනවා.

යමක් ඇලජි වුණාම මටමයි වෙන්නෙ කියලා ඔයා කණස්සලු වුණාට ඒක ඔයාට විතරක් වෙන දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය තත්වයක්. ඇලජි වලින් ඔයාගේ දිනපතා වැඩ වලට ලොකු බලපෑමක් නොවෙන හින්දා, ඇලජි ඔයාගේ සාමාන්‍ය ජීවිතයට බාධාවක් කර ගන්න එපා.

ඇලජි හැදෙන්න මූලික වන ප්‍රධාන ආහාර තමයි කිරි, තිරිඟු, බිත්තර, ඉස්සො හා මුහුදු මාළු. ඔයාලා මේවා කන්න ආස වුණත් ඇලර්ජි වුණොත් තත්ත්වය තරමක් නරකයි. ඒත් වාසනාවකට ලෝකෙ බහුලව තියෙන පොත්ත තද ඇට වර්ග නිසා සෑදෙන දරුණු අසාත්මිකතාවයන් ලංකාවේ ඇත්තෙම නැති තරම්. ඒත් ගෙදර රැදෙන දූවිලියි, සතුන්ගෙන් බෝවෙන මැක්කොයි, පූසන්ගෙ බල්ලන්ගෙ මවිලුයි, කුරුළු පිහාටුයි, ඇදුම වගේම පීනස ඇතිවෙන්න මූලික වෙනවා. මී මැස්සො, බඹරු වගේ විත් තියෙන කෘමීන් විද්දාම ඒකෙ අමාරුවට වඩා ඒක අසාත්මික වුණාම තියෙන අමාරුව කොච්චරක්ද කියලා කියන්න බෑ. ඒක දන්නෙ විදුම් කාපු කෙනෙක් විතරයි.

{slider අසාත්මිකතාවයක් ඇති වෙලා කියලා හඳුනා ගන්නේ මෙහෙමයි.}

සිරුරට අහිතකර අසාත්මිකතාවයක් ඇතිවුණාම ඔයාගේ සිරුර ඒකෙන් බේරෙන්න උත්සාහ ගන්න කොට ඔයා දැනගන්නවා වැඩේ වැරදුනා කියලා. අසාත්මිකතාව ඇති කරපු දෙයයි, ඒ අසාත්මිකතාවයේ බරපතලකමයි අනුව, පහත දැක්වෙන රෝග ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්.


සාමාන්‍ය අසාත්මිකතාවයක දී,

  • දිව හෝ තොල් කැසීම,  වමනයට ඒම, බඩ කැක්කුම,
    සමේ පලු මතුවීම,
    පීනස් ගතියක් දැනීම,
    කිවිසුම් යෑම,

මේවයින් එකක් හරි දැනෙනවා නම් ඒ සාමාන්‍ය ඇලජි තත්ත්වයක් වුණත් මේ සේරම එකවර දැනෙනවා නම්, ඒ උග්‍ර අසාත්මිකතාවයක් නිසා වෙන්න පුළුවන්.

  • •කට කසනවා නම්,
    •වමනයට පස්සේ මේ  පලු මතු වෙනවා නම්,
    •බඩ රිදුම සමඟ බඩ බුරුලට යනවා නම්,
    •හුස්ම ගැනීමේ අපහසුව සමඟ සිහිය නැතිවෙන තත්ත්වයක් දැනෙනවා නම්,
    ඒක වහාම ප්‍රතිකාර ගන්න ඕනැ උග්‍ර අසාත්මිකතාවයක් බව දැන ගන්නම ඕනෑ.

 

ඔයාට අසාත්මිකතාවයක් ඇතිවෙලා කියලා දැන ගත්තාම පළමුවෙන්ම කරන්න ඕනෙ දේ, කලබල වෙන්නේ නැතුව ඉන්න එක. ඔයා මේකෙන් මැරෙන්නේ නැහැ. ඊලඟට කරන්න ඕනැ දෙමාපියන්ට හරි වෙන වැඩිහිටියෙකුට හරි ඒ තත්ත්වය දැනුම් දෙන එක. සිරුර වෙහෙසීමෙන් තත්ත්වය බරපතල වෙන්න ඉඩ තියෙන නිසා, කළබල වෙලා දුව පැන ඇවිදින්න නොගිහින් ප්‍රතිකාරවලට යොමු වීම අත්‍යවශ්‍යයි. නියම ප්‍රතිකාරය අරගෙන පැයකින් විතර ඔයාගේ අපහසුතාවය නැතිවෙලා යන නිසා අනවශ්‍ය විදියට කලබල වෙන එකේ කිසි තේරුමක් නෑ.

ඒත්, ඒක උග්‍ර අසාත්මිකතාවයක් නම් ඔයාට ඇඩ්‍රිනලීන් එන්නත ලබා ගන්න ඕනැ වෙන්න පුළුවන්. ජීවිත අවදානම ඇති කරන අසාත්මිකතාවය ඇති අයට සරල පුහුණුවකින් පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් EPI PEN එන්නත පාවිච්චි කරන්න වෙනවා. තදින් මතක තියා ගන්න ඕනෙ දේ තමයි මේ එන්නත පාවිච්චි කරන්න ඕනෙ උග්‍රම අසාත්මිකතාවයක් තියෙනවා නම් විතරයි කියන එක. ඒ විතරක් නොමෙයි ඒ එන්නත ලබා ගත්තට පස්සේ ඔයා නොවරදවාම රෝහලකට ඇතුලත් වෙන්න ඕනැ.

පහත තියෙන උපදෙස් පිළිපැද්දොත් අසාත්මිකතාවය වළක්වා ගන්න ඔයාටම පුළුවන්.

  • ලැජ්ජා වෙන්න එපා.
    • ඔයාගේ අසාත්මිකතාවය ගැන අන් අයව දැනුවත් කරන්න. එවිට ඔවුන් ආහාර පිළියෙල කරද්දි ඒ ගැන සැළකිලිමත් වෙයි.
  • කම්මැලි වෙන්න එපා.
    • ගෙදර දූවිලි, මැස්සො, මවිල් තියෙන කොට ඔයාට අසාත්මිකතාවය ඇති වෙනවා නම්, නිතර ගේ දොර අතුගාලා පිරිසිදුව තියන්න. කොට්ට මෙට්ට නිතර පිරිසිදුව තියා ගන්න.
  • අපරික්ෂාකාරීව එළිමහනේ යන්න එපා.
    • ඔයාට කෘමි සතුන්ගේ විස අසාත්මික වෙනවා නම් එළිමහනේ යනකොට පරිස්සම් වෙන්න. අත්‍යවශ්‍ය බෙහෙත් නිතරම ඔයා ලඟ තියා ගන්න.
  • දොස්තරට ලෙඩේ හංගන්න එපා. ඕනැ ලෙඩකට බෙහෙත් ගන්න කලින් බෙහෙත් වලට ඔබේ ඇති අසාත්මිකතා ගැන වෛද්‍යරයා දැනුවත් කරන්න.
  • ගන්නන් වාලේ රෙදි ගන්න එපා.
    • ඔයාට රෙදිපිළි අසාත්මික වෙනවා නම් ඔයා අඳින ඇඳුම් වගේම පරිහරණය කරන රෙදි තෝරා ගැනීමේ දී සැළකිලිමත් වෙන්න.

ඇයි ඇලර්ජික් ද කියලා කවුරු හරි ඇහුවොත් දෙන්න ඕන උත්තරේ දැන් ඔයා දන්නවා.

 

FaLang translation system by Faboba