ADOLESCENCE OBESITY & SLEEP DISORDERED BREATHING

 

දෙන්නා හමුවෙන්නේ පාසැලේ පිට්ටනියේදී

දිනේශ් : හේ මචෝ... මොකක්ද අප්සෙට් එක ? ඉන්නෙ මේ ලෝකෙ නෙවෙයි වගේ.. මොකද දුකෙන් වගේ ඉන්නේ ?

සඳුන් : ඉන්නෙ නම් හිතේ අමාරුවෙන් තමයි... පන්තියෙ වෙලාවේ නින්ද ගියා කියලා අපේ සර් දුන්නනෙ මට පොළව පලාගෙන යන්ඩ... ඒ මදිවට මගේ මචාංලාත් කියාපි මං ගෙරෙව්වා කියලා. උඹ දන්නවද ? උන් මට කියන ''බබා'' ''තඩියා'' ''කුම්භකර්ණයා'' කියන ඒවා මට දැන් අහලාම එපාවෙලා තියෙන්නෙ...

දිනේශ් : සොරි මචෝ... අහන්ඩත් දුකයි !

සඳුන් : දන්නවද දිනේශ්... මට දැන් කරගන්න දෙයක් නෑ... ඕවා විතරක්යැ... හැම වෙලාවෙම මාර මහන්සියක් මට දැනෙනවා...ඒ මදිවට උදේ නැගිට්ටාම ඔලුවේ කැක්කුමයි ... අන්තිමට දන්නෙම නෑ පන්තියෙදි නින්ද යනවා ... මගේ මල්ලිවත් මාත් එක්ක කාමරේ නිදාගන්න එන්නෙ නෑ මං ගොරවන හින්දා නින්ද යන්නෑ කියලා... එහෙන් අම්මා හැම තිස්සෙම කියවනවා මට හරියන ඇඳුම් එයාට හොයන්ඩ බැහැ කියලා. මං මොනවා කරන්ඩද මහත් වුණාට ? අනික මං විතරද මහත එකෙකුට ඉන්නෙ ?

දිනේශ් : ඕක ගණන්ගන්නඩ එපා මචෝ. මට ෂුවර් අපිට විසඳුමක් හොයාගන්න පුලුවන් වෙයි.

සඳුන් : උඹ මට කන හැටි උගන්නන්ඩද එන්නෙ ? කියපං මං මොනවද කරන්ඩ ඕනෙ කියලා? කන්ඩ බොන්ඩ මං ආසයි. කොකාකෝලා... ම්ම්ම්... බිව්වාම මාර ගැම්මක්... සාමාන්‍යයෙන් මං බර්ගර්ස්, ෆ්රයි කරපු ජාති කන්ඩ කැමතියි...මොකද මට හොඳ දත් සැට් එකක් තියෙනවනේ... බරනම් මගෙ ටිකක් වැඩියි තමා... ඒත් ඒවා අන්තිමට පිච්චිලා යනවනේ.... නැද්ද? මේ හැමෝම මගේ බර ගැන ඇඟිලි ගහන්ඩ එන්නෙ නැතුව... මට ටිකක් පාඩුවේ ඉන්ඩ දෙනවා නම් ඇති ...

දිනේශ් : මගේ තාත්තා චෙස්ට් ස්පෙෂලිස්ට් කෙනෙක්... පපුව ගැන... මට ඇහිලා තියෙනවා එයා මේ වගේ දෙවල් කතා කරනවා...මං කියන්ඩද වැඩක්...ඔයා අපේ ගෙදර ඇවිත් තාත්තා එක්ක කතා කරලා බලන්ඩකො ටිකක්... එයා අල්ලාගන්ඩ හොඳම වෙලාව තමයි මහ රෑ දොලහට විතර ....

සඳුන් : මොකා ???

දිනේශ් : විහිළුවට බං කිව්වෙ... එයා බදාදා දවස්වල වැඩ කරන්නෙ නෑ. ගුහාවෙන් එළියට එන දවස... අපි එතකොට අල්ලගමු මෑන්ස්....

(ඊළඟ බදාදා සඳුන් දිනේශ්ගෙ නිවසට යයි. දිනේශ්ගෙ පියා - දොස්තර තාත්තා ඔවුන්ව සිය කාමරයට කැඳවයි.)

දොස්තර : හලො සඳුන්... එන්න ඇතුළට වාඩිවෙන්න...මට ආරංචියි ඔයාට තියෙන ප්‍රශ්න..
අපි ටිකක් කතා කරමු... මට ෂුවර් ඕවා බේරගන්න පුලුවන්...

සඳුන් : තෑන්ක් අංකල්... මං ගැන කරුණාවෙන් හම්බුවෙන්න වෙලාවක් දුන්න එක ගැන.

දොස්තර : ... ඒක සුලු දෙයක් සඳුන්... දැන් ඉතිං කියමුකො බලන්න ඔයාගේ කතාව ?

සඳුන් : මේකයි අංකල්... මං හුඟාක් ස්පෝර්ට්ස් කළා...මේ ඕ එල් විභාගෙ අතළඟ හින්දා වෙලාවක් නැතිකම නිසාම ඒවා ටිකක් අත්හැරලා දැම්මා... ඉතිං දැන් පොඩ්ඩක් බර වැඩිවෙලා මහත් වෙලා... එච්චරයි...

 

දොස්තර : ඒකට පස්සෙ ඇදුමත් වැඩිවුණා ... නේද ?

සඳුන් : ඒකනෙ... ඇදුම අන්තිම දරුණු විදියට වැඩිවුණා.. හැමදාම වගේ නහයට දුම් අල්ලන්න නෙබියුලයිස් කරන්න සිද්ධ වුණා. ඇදුමට ස්ටෙරොයිඩ් පෙති දුන්නා... මේ ඔක්කොගෙන්ම වුණේ මගේ බර වැඩිවෙන එක විතරයි. අන්තිමට ගැස්ට්‍රයිටිසුත් හැදිලයි නතර උණේ. දැන් මගේ ඇඳුම් එකක්වත් ළඟට කිට්ටු කරන්න බැහැ. කොලර් සයිස් එක දාහතාමාරක්(17 1/2) වෙනවා. ලොකු බඩකුත් ඇවිත්. පපුවත් මහතයි. හරිම ලැජ්ජයි අංකල්...

දොස්තර : මට තේරෙනවා සඳුන්... හැබැයි තව හුඟාක් දේවල් ඇති... ඉතිං කියන්නකො...

සඳුන් : ඔව් අංකල්...මං නින්දෙන් ගොරවන්න පටන් ගත්තා... ඇඳට වැටුනු ගමන් නින්දට යනවා... නමුත් හැමදාම පාන්දර 2ට 3ට විතර ඇහැරෙනවා ටොයිලට් යන්ඩ... මගේ මල්ලි දැන් මගෙත් එක්කලා නිදාගන්න එන්නෙ නැහැ. මොකද ගෙරවිල්ල අන්තිම දරුණු නිසා... සමහරදාට උදේට මට ඔලුවේ කැක්කුමක් හැදෙනවා. පස්සෙ හරියනවා. දවල් කාලේ මොනවා හරි වැඩක යෙදිලා ඉන්නව නම් ප්‍රශ්නයක් නෑ. බැරිවෙලාවත් ඉඳගත්තොත් හරි, ටීවි එක බැලුවොත් හරි, පොතක්පතක් කියවන්ඩ ගත්තොත් හරි නින්දක් එනවා ... පන්තියෙ උගන්වන කොට නින්ද ගිහිං ලෙඩත් වැටුනා. බැනුම් පවා ඇහැව්වා... මේක මහ පිස්සුවක් ... මගේ ජීවිතේම මහ අවුලක් වෙලා අංකල්... කරුණාකරලා මට කියන්නනම් එපා ඩයට් කරන්න කරන්න කියලා... මං ඒක අනන්තවත් කරලා බැලුවා සැරෙන් සැරේ.. වැඩක් නෑ... හරිගියේ නෑ... මට ඒක වැඩ කරන්නෙ නැහැ....

දොස්තර : ඔතන නවත්වන්ඩ පුතා... මං හිතනවා ඔයාට තියෙන්නෙ අවහිර සහිත, නින්ද නොයාම නිසා ඇතිවන තත්වයක්.. ඔබ්ස්ට්‍රක්ටිව් ස්ලීප් ඇබනියා කියන තත්ත්වය ...

සඳුන් : මොකක්ද OSA කියන්නෙ අංකල් ? ඒක භයානක තත්ත්වයක්ද?

දොස්තර : ඉන්ඩ පුතා මං පැහැදිලි කරන්නම්. OSA නැත්නම් ඔබ්ස්ට්‍රක්ටිව් ස්ලීප් ඇප්නියා කියන්නෙ, නින්දේදී සිදුවන හුස්මගැනීමේ අපහසුතාවක්. ඒකෙන් වෙන්නෙ ඔබේ පෙනහැල්ලේ ඉහළ කොටසට වාතය ගමන්කරන මාර්ගය ටිකක් හෝ සම්පූර්ණයෙන් අවහිර වෙනවා. ඒක වෙන්නේ නින්දේදි මාංශ පේෂි සැහැල්ලු වෙන නිසා උගුරේ පිටුපස තිබෙන මාශ පේෂි හා පටක සැහැල්ලු වී ඉදිරිපසට ඇවිත් තෙරපීමක් කරනවා. එවිට ඉහළට වාතය ගමන් කරන මාර්ගය අවහිර වෙනවා. මෙහිදී අර්ධ වශයෙන් සිදුවන අවහිරතාවය ''හයිපොඇප්නියාස් '' (Hypopneas) හැටියටත්, සම්පූර්ණයෙන් අවහිරවී නතරවීම ඇප්නියා (Apnoea) කියලත් හඳුන්වනවා. ඇප්නියාව නිසා නින්දේදී තත්පර 10ක් විතර හුස්මගැනීම ප්‍රමාද කරනවා. නතරකරනවා. මේ සෑම නතරකිරීමක්ම තත්පර 10 සිට 30 දක්වා සිදුවෙන්න පුලුවන්. සමහරවිට ඒක මිනිත්තුවක් හෝ ඊට වඩා වැඩියෙන් සිදුවෙන්නත් පුලුවන්. මේ නිසා බලාපොරොත්තු නැති විදියට ලේ වල ඇති ඔක්සිජන් මට්ටම 40% දක්වා අඩුවුණොත් එහෙම ඉතාම දරුණු තත්ත්වයක් ඇතිවෙන්නත් පුලුවන්. එහෙම ඔක්සිජන් අඩුවෙනකොට මොළය විසින් යම් යම් ක්‍රියා-ප්‍රතික්‍රියා මගින් ඔයාට ඒ බව ද න්වනවා. නින්ද නොයෑම හෝ හදිසියෙන් නින්දෙන් අවදිවීමක් සිදුවෙන්න පුලුවන්. මේ දේ එක් රැයකදී සිය වතාවක් වුණත් වෙන්න පුලුවන්. මේ නිසා ඔබේ නින්ද කැඩෙන්න පුලුවන්. දවස පුරාම දැඩි වෙහෙස මහන්සියක් දැනෙන්න පුලුවන්. බොහෝදෙනෙක් මේ ඇප්නියා තත්ත්වය නිසා සැරෙන් සැරේ වාතය අවහිරවීම හා අඩුවීමේ හේතුවෙන් හයියෙන් ගොරවනවා. නැවත හිරවුණු සුළං මාර්ගය ඇරිලා වාතය පිටවෙනකොට, තදින් ගොරවනවා. වේගයෙන් සද්දෙට හුස්ම හෙලනවා.

සඳුන් : හරියටම හරි අංකල්. මගේ අම්මත් කියනවා මං නිදාගෙන හුස්ම ගන්නකොට බය හිතෙනවලු. සමහර වෙලාවට මං හුස්ම ගන්නෙම නැතිලු. එහෙම වෙලාවට මාව ඇහැරවනවා හුස්ම නතරවෙලා කියලා.

දොස්තර : මම දන්නවා සඳුන්... මේක ටිකක් භයානක අත්දැකීමක් වෙන්න පුලුවන්.

සඳුන් : ඇයි අංකල් මට නින්දේදී හුස්මගැනීමේ අපහසුතාවක් හැදුනේ ?

දොස්තර : වෛද්‍ය විද්‍යාවේ සිරුරේ ස්කන්ධය - බර දක්වන මිනුම් දර්ශකයේ ඇති අංක 25 සිට 29.9 දක්වා වන මිණුම් වලට අනුව, බොහොම මහත, තරබාරු, බර වැඩි අය, මේ නින්දෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයට ගොදුරුවීමේ වැඩි අවධානමක් තියෙනවා. බෙල්ල මහත ගැහැනු පිරිමින්ට - ඒ කියන්නේ බෙල්ල අඟල් 17ට හෝ ඊට වැඩි පිරිමින්ටත්, බෙල්ල අඟල් 16ට හෝ ඊට වැඩි ගැහැනුන්ටත්, බෙල්ල කොට, මුහුණේ හකු ඇටය කුඩා, ඇතුළට නෙරාගිය අයටත් මෙය හැදෙන්න වැඩි ඉඩක් තියෙනවා. උපතින්ම මුහුණේ අසාමාන්‍ය විකෘති පෙනුමක් ඇති වැඩිහිටියන්, ළමුන්, විශාල සෙම්ගෙඩි සහ නාසයේ ප්‍රදාහයන්( නාසය ඉදිමී දැවිලි සහිත) මෙන්ම නාසයේ සිරවීම් සහ අවහිරතාවන් ඇති ළමුන්ටත් මෙය හැදෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ සහ පිටියුටරි ග්‍රන්ථියේ ආබාධ ඇති අයටත්, දුම්පානය කරන අයටත් මේ අවධානම තියෙනවා.

සඳුන් : මට දැන් තමයි තේරෙන්නේ අංකල්... ඉතිං මේක භයානකයිද ?

දොස්තර : මං ඔයාව බයකරන්න අදහස් කලේ නෑ පුතා... රාත්‍රී නින්දේදී හුස්ම ගැනීමේ අපහසුතාවක් තිබීමෙන්, ඉහළ පහළ යන ඔක්සිජන් මට්ටම හේතුවෙන් හෘද ස්පන්දන වේගය ඉහළ පහළ යෑම නිසා දරුණු ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්. හදවතේ විදුලිමය ක්‍රියාකාරකම් වල බාධාවන් පැමිණීමෙන්, එම බාධක වර්ධනය වීමෙන් ඔයාව ලොකු අවධානමකට තල්ලු කරනවා.

අනික් ප්‍රශ්න තමයි දහවල් කාලයේ රුධිර පීඩනය (ලේ ගමනාගමනය) වැඩිවීම, හදිසි හෘදයාබාධයක් ඇතිවීමේ අවධානමක් ඇතිවීම, රුධිරයේ ඇති සීනි පාලනයේ වෙනසක් සිදුවීම සහ දියවැඩියාවට ගොදුරුවීමේ වැඩි අවධානමක් ඇතිවීම, ඔබේ අධ්‍යාපනය සඳහා වඩාත් බලපෑ හැකි, අවධානයේ සහ මානසික තත්ත්වයන්ගේ වෙනස්කම් ඇතිවීම. නින්දේදී හුස්ම ගැනීමේ අපහසුතාවන් ඇති වැඩිහිටියන්, රිය පදවාගෙන යනවිට නින්දයාමෙන් ඉතාම මාරාන්තික අනතුරු පවා සිදුවී තිබෙනවා. 


සඳුන් : අන්කල්, ඔයා මට කෑම කන එක, ඒකට තියෙන ආශාව සදහටම, නැත්තටම නැති කළා වගේ දැනෙනවා. හයියෝ... මට මට උදව් කරන්න බැරිද? මාව පේන්නෙ මැරෙන්න යන මිනිහෙක් වගේද ? 


දොස්තර : පුතා මං ඔයාව බය කරන්න හැදුවේ නැහැ... මං දොස්තර කෙනෙක් හැටියට මේ ඇත්ත කිව්වේ. මට දුකයි ... මං හිතුවෙ නෑ ඔයාගෙ හිතේ බයක් ඇති වෙයි කියලා...


සඳුන් : ඒකට කමක් නෑ අන්කල්... මං කූල්... ෆිට් එකේ ඉන්නෙ... ඇත්තටම මං කැමතියි මට වැඩිහිටියෙක් වගේ සලකනවට... ළඟදීම මට වයස 17ක් වෙනවා... ඩ්‍රයිවින් කරන්නත් වෙනවා. මට සොසේජස් බන්ස් වගේ කෑම කන එක නතර කරන්නත් බෑ... ජීවිතේ අනතුරක, අවදානමක දාගන්නත් බෑ....
හොඳයි කියන්ඩකො මං දැන් මොනවද කරන්ඩ ඕනෙ කියලා ?


දොස්තර : යා නම් නියම කොල්ලෙක් පුතා... මං කැමතියි ඔයාගෙ අම්මයි තාත්තයි එක්ක පොඩ්ඩක් කතා කරන්ඩ. ඔයා ඒ දෙන්නා එක්ක ආවාම මං නියම විදියට ඔයාව පරික්ෂා කරන්නම්. 
මම දැනගන්න ඕනේ ඇයි ඔයාගෙ මේ හුස්මගන්ඩ බැරි, ඇදුම වගේ ගතිය පාලනය කරන්ඩ බැරි වුණේ කියලා... 
ඊළඟට හරියටම දැනගන්න ඕනේ මේ සෙමගතිය හා සෙම්ගෙඩි නිසා ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙ ගැන. 
මට ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක (රුධිර පීඩනය) පරීක්ෂා කරන්ඩත් ඕනෙ. 
මට ඔයාගේ සුගර් ලෙවල් එක(ලේ වල සීනි මට්ටම), කොලෙස්ටර්රෝල් ලෙවල් එක (ලේ වල, මේද මට්ටම) තයිරොයිඩ් හෝමෝන් ලෙවල් එක ගැනත් දැනගන්න ඕනෙ. ඒකට පොඩි බ්ලඩ් රිපෝට් (ලේ වාර්තා) ටිකක් ගන්නත් ඕනේ. 
අන්තිමට කරන්න ඕනෙ Polysomnography "පොලිසෝමිග්‍රැෆි" පරික්ෂාවක් ඔයාගේ "ගොර නින්ද" ඇතිවෙන දුර්වලතා OSA හේතු ටික හොයාගන්න. 


සඳුන් : මොකක්ද කිව්වේ "පොලී" ටෙස්ට් එකක්... කූල් ... නමත් මාර ජොලි ... හරි අන්කල්... මං නිදාගන්නම් ටෙස්ට් එක ඉවරවෙන කම්ම... ඒක නෙවෙයි අන්කල් ... ටෙස්ට් එකට එනකොට මං මගේ තාත්තාවත් එක්කරං එන්ඩද ? 


දොස්තර : පුතා හොඳට විහිළු කරන්ඩ නම් දක්ෂයි වගේ... පොඩ්ඩක් ඉන්ඩ මං මේ "ගොරනිදි" පරීක්ෂාව ගැන ගැන කියලා දෙන්ඩ. 
"පොලිසෝමිග්‍රැෆි" (Polysomnography )පරික්ෂාවක් ! ඒ කියන්නෙ එක රැයක් පුරාම ඔබව ගොර නින්දකට දාලා කරන වැදගත්, අත්‍යාවශ්‍ය නිදි පරික්ෂාවක්. 
ඔයාට නින්ද යාම නොයෑම ගැන, නින්දේදි ඇතිවන මොළයේ සංඥා, මොළය වැඩකරන හැටි, ඒ වෙලාවේ ලේවල තියෙන ඔක්සිජන් මට්ටම, හදවතේ ස්පන්දනය සිදුවෙන හැටි, හුස්ම ගැනීමට හෙළීමට තියෙන අවහිරතාවන් ආදී දේවල් ඒකෙන් බලාගන්න පුලුවන්... 
ඉන්ඩ මං ඔයාට පෙන්වන්නම් පොඩි විඩියෝ ක්ලිප් එකක් දාලා මේ "ගොරනිදි" පරික්ෂාව කරන්නේ කොහොමද කියලා...


සඳුන් : කූල්... නියමයි ඒක... මං ඇත්තටම කැමතියි මගෙ තාත්තාට මගේ බ්රේන් වේව්ස් පෙන්වන්න... මොකද එයා හිතන් ඉන්නෙ මට එහෙම ඒවා තියා මොළයක්වත් නෑ කියලා.. 
කමක් නෑ... ඒ විහිළු පැත්තකට දිමු අන්කල්... එතකොට කොහොමද මේ ගොරනිදි -OSA පරික්ෂාව කරන්නෙ ? 


දොස්තර : මූලිකවම ගොරනින්දෙ OSA පරික්ෂාව කරන්නෙ CPAP කියන, නහයේ සවිකරන පුංචි හෙල්මට් එකක් වගේ උපකරණයකින්. 
විවිධ ප්‍රමාණයේ CPAP හෙල්මට් තියෙනවා. ඒවායින් කරන්නේ අපහසුවෙන් හුස්මගන්නා කෙනෙකුට, 
CPAP හෙල්මට් එකෙන් කරන්නේ, ඒක නාසයේ පැළඳගත්තාම, පීඩනයකට ලක් කළ ඔක්සිජන් වාතය නොවෙනස්ව, එකම ආකාරයට, නින්දේදී රෝගියාගේ ශරීරයට ලබාදීමයි. 
මෙම පරීක්ෂාව කරන නින්දේදී, CPAP ''නිදි'' හෙල්මට් එක තුළින්, පෙනහළු කරා වාතය ගෙනයන ස්වාස නාල හැකිලී අවහිර වෙන්නට ඉඩ නොදී ආරක්ෂා කරයි. 
එයින් හුස්ම ගැනීම නතරවන, හිරවෙන එක වළක්වා, ඔක්සිජන් මට්ටම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනවා.

මේ අලුත් CPAP හෙල්මට් පුංචියි...බරත් අඩුයි... හරිම නිෂ්ශබ්දයි... ඕනෑම රෝගියෙකුට තමන් කැමති සයිස් එකේ, වර්ගයේ CPAP හෙල්මට් එකක් තොරාගෙන හොඳ නින්දක් දාන්න පුලුවන්.
පොඩ්ඩක් ඉන්න පුතා මං ඔයාට මේ CPAP හෙල්මට් පින්තූර ටිකක් පෙන්වන්න...


සඳුන් : එතකොට මෙච්චරද මං කරන්න ඕනෙ ? මේ ගැජට් එකෙන් මට සනීප වෙයිද? ඒක මේ "හීන සැබෑ කරන මැෂින් " එකක් වගේ එකක්ද?


දොස්තර : මාත් හිතනවා පුතා ඒක ඒ විදියේ එකක් වෙන්ඩ ඇති කියලා. හැබැයි එතනදි පුතා කරන්න ඕනෙ වැඩ ටිකකුත් තියෙනවා...
ඔයා බර අඩුකරගන්න ඕනෙ. හොඳ සෞඛ්‍ය සම්පන්න දේවල් කෑමට පුරුද්දක් ඇතිකරගන්න ඕනෙ... හොඳ සැප නින්දක් දාන්න පුරුදුවෙන්නත් ඕනෙ... 
ඒ වගේම ඔයා දොස්තර කෙනෙක් හම්බු වෙලා, ඔය සෙම ගතියයි, සෙම්ගෙඩි වලටයි බෙහෙතක් ගන්නත් ඕනේ. 
සඳුන්: අයියෝ ඇත්තද... මං හිතුවා හරි... ඔයා අන්කල් මට මේ බණ දේශනා කර කර වටින් ගොඩින් ආවේ "පුතේ ඔයා ඔයාගේ බර අඩුකර ගන්න" කියලා කියන්ඩද?


දොස්තර : ඔය වගේ ප්‍රමාණයක් බර අඩුකරන එක ලේසි වැඩක් නෙවෙයි පුතා. ඒකට ලොකු උත්සාහයක්, ලොකු කැපකිරීමක් කරන්න ඕනෙ... ලොකු කාලයක් යන වැඩක්... මේවා කරන අතරේ ඔය "ගොර නින්දට" හේතුවෙන හුස්ම ගැනීමේ ප්‍රශ්න විසඳාගන්න ඔයාට උදව්ගන්නත් වෙනවා. 


සඳුන්: අනේ මට සමාවෙන්න අන්කල්.. මං ඒවගේ කෙළෙහිගුණේ දන්නෙ නැති මිනිහෙක් නෙවෙයි. ඔයා මා වෙනුවෙන් හුඟාක් මහන්සි වුණා. ගොඩාක් කාලේ නාස්ති කරගත්තා... ඔයා කලේ ලොකූ උදව්වක්... දැන් මට ජීවත්වෙන්න බලාපොරොත්තුවක්, අරමුණක් තියෙනවා. මට සිද්ධවෙච්ච දේවල් එක්ක බලනකොට පිස්සු වැටෙන්ඩත් තිබුණා. 
මං අම්මටයි තාත්තටයි කතා කරලා අන්කල් හම්බුවෙන්න එන්නම් එයාලත් එක්කම.. එහෙම හොඳයි නේද අන්කල් ?...


දොස්තර : නෝ ප්‍රොබ්ලම් පුතා කිසිම ප්‍රශ්නයක් නෑ... මට හරිම සන්තෝෂයි ඔයාට උදව් කරන්ට ලැබුණ එක ගැන... මගේ පුතා ඔයාගේ හොඳ නිතරම කියනවා... ඇත්තටම මං හරිම සන්තෝෂයි ඔයා වගේ යාලුවෙක් එයාට ඉන්න එක... 


සඳුන්: තෑන්ක්ස් අන්කල්... මං හරිම සන්තෝෂයි එයා වගේ යාලුවෙක් මට ලැබුණු එක... එයා මගේ ජීවිතය බේරුවා අන්කල්...
දොස්තර : පුතා අපි ඔක්කොමට එකිනෙකාගේ උදව් ඕනෑ වෙනවා. අපි ඉන්නේ ඒ උදව් කරන්න තමයි... ඒකට තමයි යාලුකම... හොඳ මිත්‍රත්වය කියන්නේ... 
(ඔන්න අන්තිමට යාලුවෝ දෙන්නා හම්බු වෙලා කතා කරන හැටි )


සඳුන් : හේයි මචෝ... තෑන්ක්ස් අ ලොට්... උඹලගේ දොස්තර තාත්තා මුණගස්සවාපු එක ! එයා නම් නියම කූල් පොරක් මචාං... දෙයියෙක් !


දිනේශ් : ගණන් ගන්න එපා මචෝ... ඒකට තමයි යාලුවො ඉන්නේ... 
දෙයියගෙ පුතානෙ බං... හී.... හී... හී.......

FaLang translation system by Faboba