හැමෝම වගේ දන්නවා, යම් අයෙක් සිගරට් එකක් බොන්න හදන්නේ, දැන් තමුන් කරදඬු උස්මහත් වුණු ලොකු මිනිහෙක් - වීරයෙක් කියන හැඟීමක් ඇති කරගෙන. ඒ බව අනික් අයට අඟවන්න. ඒ වගේම සිගරට් බීම කොහොමහරි ඇතිකර ගතයුතු, හරි ශෝක් හිත් ඇදලාගන්නා පුරුද්දක් කියලා අඟවන්න හදනවා. නමුත්, ඔබ මේ බොළඳ වීරයා වෙන්න කලින් කිසිම විටෙක හිතුවද, සිගරට්ටුවක් තුළ ඔබේ ''මිනීවළ" හෑරිලා තියෙනවා කියලා ?

"නිකොටින්" - Nicotine - තමයි අපට පළමුවෙන්ම හිතට එන්නෙ. නැද්ද?  නමුත් ඔබ දන්නවාද සිගරට් බීම නැතුවම බැරි කරන, බොන සිගරට් ප්‍රමාණය වැඩි කරමින් ඇබ්බැහිකරවන, රසායන ද්‍රව්‍යයන් ඒකෙ තියෙන බව ? සිගරට් බොන්න පුරුදුවෙලා, ඒක නැතුවම බැරි විදියට ඇබ්බැහි වුණ අයට, සාමාන්‍ය විදියට ඉන්න ලේ වල එක්තරා මට්ටමකට ''නිකොටින් '' තියෙන්නම ඕනෙ. නැත්නම් කෑවෙ බිව්වේ නෑ වගේ. ''මූඩ්" එකත් ටිකක් ''අප්සෙට්'' වගේ. නිකොටින් සුලු ප්‍රමාණයක්, මාත්‍රාවක් ගත්තාම මොළය ටිකක් කුල්මත් වෙනවා. උත්තේජනයක් ඇතිවෙනවා. නමුත් විශාල ප්‍රමානයක් ගත්තාම මත්වීමක්, නිදිබර ගතියක් දැනෙනවා. මෙයින් ස්නායු සෛල අතර ක්‍රියාකාරිත්වය දුර්වල වෙලා, හදවතේ, රුධිර ධමනී සහ හෝමොනවල ක්‍රියාකාරිත්වය අඩපණ වෙලා, මාරක ප්‍රතිවිපාක අත්විඳින්න පුලුවන්. නිකොටින් ලේ වල අඩංගුවීමෙන් දුම්බොන්නා ''තැන්පත් - කූල්" මිනිහෙක් වගේ පෙනුනට, නොදැනීම ශරීරයට දරුණු හානියක්  සිදුවෙනවා.
සිගරට් බොන-නොබොන ඔබලා දැනගෙන හිටියාද සිගරට් දුමේ පිළිකා සෑදෙන විෂ රසායන ද්‍රව්‍ය 43ක් ඇතුලුව, 4000කට වැඩි විෂ රසායනික (carcinogens) ද්‍රව්‍ය අංශු රැසක් තිබෙනවා කියලා ? මෙන්න ඒ පිළිබඳ තොරතුරු ටිකක් :

තාර - මෙය දුම්බීම නිසා අප ශරීරයට ඇතුලුවන තහනම් අපද්‍රව්‍ය, අංශු කොටස්, සඳහා භාවිතා කරන පොදු වචනයක්. මෙම අපද්‍රව්‍යවල පිළිකා සෑදීමට හේතුවන පිළිකා කාරක වන කාසිනෝජන්ස් (carcinogens) ඇතුලු බොහෝ විෂ රසායන ද්‍රව්‍ය අඩංගුවෙයි. තාර ඇලෙන සුළු දෙයකි. එමගින් දත්වල, නියපොතුවල සහ  පෙනහලු පටකවල දුඹුරු වර්ණයෙන් පැල්ලම් ඇතිකරයි. තාර වල පිළිකා කාරක ''කාර්සිනොජන් benzo pyrene'' වැඩියෙන් අඩංගු වෙනවා.

• කාබන් මොනොක්සයිඩ් -Carbon Monoxide- මෙය ඔබේ ලේවල ඇති ඔක්සිජන් වායුවේ තැන උදුරාගන්නා කිසිම ගන්ධයක් නොමැති මරණීය වායුවක්. ඔක්සිජන් අංශු ඔබේ ශරීරය පුරාම ගෙනයන්නේ, සෑම රතු රුධිරානුවකම අඩංගුවන හිමොග්ලොබින් නැමති ප්‍රෝටීනය මගිනුයි. නමුත් කාබන් මොනොක්සයිඩ්, ඔක්සිජන් වඩා හොඳින් හිමොග්ලොබින් සමග බැ‍ඳෙනවා. මේ නිසා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ගෙනයාමට රතු රුධිර සෛල බොහෝ අවශ්‍ය වෙනවා. රතු රුධිර සෛල වැඩිවීම නිසාම රුධිරයේ ඝණත්වයත් වැඩිවෙයි. එයින් අදහස් කරන්නෙ, ශරීරයට ඔක්සිජන් වැඩියෙන් අවශ්‍යවන ව්‍යායාම කරන අවස්ථාවල, මොළයට, හෘදයවස්තුවට, මාංශ පේශී හා අනෙකුත් ශරීර අවයවයන්ට ප්‍රමාණවත් පමණින් ඔක්සිජන් ලැබෙන්නෙ නැහැ කියන එකයි.

• හයිඩ්රජන් සයනයිඩ් - Hydrogen Cyanide –  පිටතින් ඇතුලුවන අපද්‍රව්‍ය රඳවාගෙන සුද්ද පවිත්‍ර කරන සිහින් කෙස් වැනි දෙයක් පෙනහලුවල තිබෙනවා. හයිඩ්රජන් සයනයිඩ් පෙනහලු පිරිසිදු කරන මෙම කාර්යාවලිය මැනවින් සිදුවීම නතර කරයි. ඒ කියන්නේ දුම්බීමේදී ඇතුලුවන විෂ සහිත රසායනික ද්‍රව්‍ය පෙනහලු තුළ තැන්පත්ව වර්ධනය විය හැකි බවයි. දුම්බීමෙන් පෙනහලු වලට හානි සිදුවන අනෙකුත් රසායන දුව්‍ය නම්, හයිඩ්රොකාබන් වර්ග, නයිට්රස් ඔක්සයිඩ් වර්ග, ඕගනික් අම්ල, කාබොලික් අම්ල හා ඔක්සිකාරකයි.

• ඔක්සිකාරක රසායන ද්‍රව්‍ය - Oxidizing Chemicals - ඉතාම ප්‍රචන්ඩ ලෙස (ත්‍රස්තවාදින් මෙන්) ප්‍රතික්‍රියා කරන මෙම රසායනික ද්‍රව්‍යයන් මගින් හදවතේ මාංශ පේශී හා රුධිර නාලවලට හානි සිදුවිය හැකියි. එම රසායන ද්‍රව්‍යයන් කොලෙස්ටරෝල් සමඟ සහයෝගයෙන් ක්‍රියාකර, රුධිර ධමනි නාලවල බිත්ති ඇතුළත මේද තට්ටු වර්ධනය කරයි. මේ නිසා හෘද රෝග, ''හාට් ඇටෑක්'' (ආඝාතය) සහ රුධිර නාල රෝග ආදිය ඇතිවෙයි.
 
• ලෝහ - Metals- උරන සිගරට්ටුවක ආසනික්, කැඩ්මියම් සහ ඊයම් ඇතුළු භයානක ලෝහ වර්ග අඩංගු වෙයි. මෙම ලෝහ කිහිපයක්ම පිළිකාකාරක ලෝහයන්ය.
 
• විකිරණශීලි සංයෝග - Radioactive Compounds- කාර්සිනෝජෙනික් වශයෙන් හඳුන්වනු ලබන, විකිරණශීලී පිළිකාකාරක සංයෝග සිගරට් දුමාරයේ අඩංගු වෙනවා.
සිගරට් එකක් බොන විට, පෙනහලු කරා ඇතුලුවන තාර ප්‍රමාණය වැඩිවෙයි. ඔබ දැනගත යුතුම දේ තමයි, සිගරට්ටුවක් උරන පළමු හුස්මේදී ඇතුල්වන තාර ප්‍රමාණයට, දෙගුණයකටත් වඩා වැඩි තාර ප්‍රමාණයක් අවසන් සිගරට් හුස්මේදී පෙනහැල්ලට ඇතුලුවන බව. සිගරට් බීමෙන් ඇතුලුවන රසායන ද්‍රව්‍ය බොහොමයක් පෙනහලු තුළම තැන්පත් වෙයි. මෙයින් හැ‍ඟෙන්නේ ඔබ වැඩි වැඩියෙන් සිගරට් බීමෙන්, පෙනහලුවලට සිදුවෙන හානිය ඉතාම වැඩිවන බවයි.
දැන් ඔබ තේරුම්ගත යුතු එකම දේ මෙපමණයි. දුම්පානය - සිගරට් බීම - ඔබේ ශරීරයේ හැම ඉන්ද්‍රියකටම අහිතකර ලෙස බලපානවා. දැන්වත් දුම්පානයෙන් මිදීමට, එය නැවැත්වීමට ප්‍රමාද වැඩි නැහැ කියන එකයි.
 

2014 දී ලොව පුරා සිටිය ට්‍රිලියන 6 කටත් වඩා මනුෂ්‍යයෝ සිගරට් - දුම්බොන බව ඔබ දැන සිටියාද ?
අපි සිගරට් මිලදී ගෙන දුම්පානය කරන විට දුම්කොළ කර්මාන්තය වේගවත් දියුණුවක් ලබනවා. එහෙත් ඔවුන්ට වසරක් පාසා සිය ගණුදෙනුකරුවන්ගෙන් භාගයකටත් වඩා අහිමිවන්නේ, හැම වසරකම මරණය අත්කර දෙන, මිනිවළවල් හාරා දෙන, පෙනහලු පිළිකා සහ එවැනිම මාරක රෝග මනුෂ්‍යයින්ට අත්කර දෙමින්. මේ දුම්කොළ කර්මාන්ත කරුවන් හැමෝම - හැමවිටම ජෝගි නටන්නේ අලුත් පරපුරේ තරුණ තරුණියන් අල්ලාගෙන සිගරට් ඉරීමට හුරුපුරුදු කරමින් වෙළෙඳාම වැඩි කරගෙන, බඩගෝත්තරය හොයාගෙන, මඩිය තරකරගන්නයි.  
මේ නිසයි ඔවුන් සිගරට් - දුම්වැටි පානයට ආරාධනය කරමින් එය ආශ්චර්යමත් දෙයක් ලෙස පෙන්වන්න හදන්නේ. ඔවුන් සුවිශේෂී චරිත නිර්මාණය කරනවා. හොඳ උදාහරණයක් ''මාල්බොරෝ මෑන් '' චරිතය. නමුත් මේ මිනිහත් වයස අවුරුදු 51 දී පෙනහළු පිළිකාවෙන් මියගිය බව ඔබ දන්නවාද? ඔහුගේ අවසන් වචන කීපය දැනුත් අප වටා දෝංකාර දෙනවා. "... අනේ අපේ දරුවන් හොඳින් රැකබලාගන්න... දුම්කොළ සහ දුම්වැටි අපේ දරුවන් මරලා දමයි. එහි ජීවමාණ ... අවාසනාවන්ත සාක්ෂිය මමයි... "
දුම්පානය ගැන ඔබ දැනගත යුතු කරුණු - Facts about smoking

- ඔබ දන්නවාද දුම්පානය කරන හැමෝම කවදා හෝ මැරෙන්නේ සිගරට් නිසා ඇතිවූ රෝගාබාධ, සෞඛ්‍ය ගැටළු වලින් බව ? 
- දුම්පානය කරන්නන් ගෙන් 80% ක් ඒක පටන් අරගෙන තියෙන්නේ  යෞවුන් වියේදී
 
- සෑම වසරකදීම දුම්පානය කිරීමට නවකයින් පොළඹවා, අල්ලාගැනීම සඳහා චිත්‍රපට ප්‍රචාරණ කටයුතුවලට  පමණක් යුරෝ මිලියන 635ක් වියදම් කරනවා.
 
- 2014 වසරේ දි ශ්‍රී ලංකා රජය දුම්කොළ නිෂ්පාදන බද්දෙන් පමණක් රුපියල් බිලියන 73.6ක බදු ආදායමක් ලබාගෙන තිබෙනවා.
 
 

දුම්පානය ඔබේ ශරීරයේ සෑම කොටසක් කෙරේම බලපෑමක් කරන බව අපි දැනටමත් ඔබට කිව්වා. මෙම කොටසින් එය ඔබේ විවිධ කාර්යයන් කෙරේ බලපාන ආකාරය වඩාත් විස්තර සහිතව කියන්නම් :

The effects of tobacco smoke on the respiratory system:
ඔබේ ශ්වසන පද්ධතියට දුම්කොළ දුම්වලින් සිදුවන බලපෑම්:

• පිටඋගුරෙ (ස්වාස නාලයේ)  සහ උගුරේ ඉහළ හඬ එන ස්වරාලයේ (හඬ පෙට්ටිය) අසාමාන්‍ය  රිදිල්ලක් හා දැවිල්ලක් ඇතිවීම.
 
• පෙනහලු කරා වාතය ගෙන යන මාර්ගය හැකිළීම හා ඉඳිමීම නිසාද, පෙනහළු බිත්තිවල සෙම එකතුවී සිරවීම නිසා ද, පෙනහලුවල ක්‍රියාකාරීත්වය අඩුවී, හුස්මගැනීමේ  අපහසුතා ඇතිවෙයි.
 
• පෙනහලු පිරිසිදු කරන ක්‍රියාවලියට හානි සිදුවීම තුළින් විෂ ද්‍රව්‍ය වැඩියෙන් එකතුවී, වර්ධනය වී පෙනහලුවලට හානි, තුවාල සිදුවෙයි.
 
• කැස්ස හා ඇද ඇද හුස්මගැනීම වැනි -wheez- පෙනහළු රෝග, ආසාදන සැදීමේ අවදානම වැඩිවෙයි.
 
• පෙනහළුවලට හුස්මගන්නා විට රැගෙන එන වාතය රැස්වන වායු කුටීර නැවත සුව කළ නොහැකි ලෙස තුවාල වී හානි (ස්ථිර හානි) සිදුවෙයි.
 
The effects of smoking on the circulatory system:
දුම්පානයෙන් රුධිර සංසරණ පද්ධතියට සිදුවන බලපෑම/හානි :
 
• ලේ ගමනාගමනය - රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය වැඩිවීම
 
• සමේ උෂ්ණත්වය පහත වැටීමේ ප්‍රතිථලයක් ලෙස, සමේ ලේ නහර තදවීම (හිරවීම ) . 
 
• ව්‍යායාම කරන විට රුධිරය මගින් ගෙන එන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම.
 
• ''ඇලෙනසුලු'' ලේ, කැටි ගැසීමට වැඩිපුර ගොදුරු විය හැකියි.
 
• ධමනී ඇතුළත බිත්ති වලට හානි සිදුවන, රුධිර නාලිකාවල මේදය තැන්පත්වී සිහින් වීමේ රෝගයට (atherosclerosis ) දායක වෙයි. (ධමනි බිත්ති මත මේද තැන්පත් කිරීමේ ශක්තිය වැඩිකරයි.)
 
• ලේ ගමන අඩුවීම නිසා අත් පා ඇඟිලි හා අල්ල, විලුඹ ආදී සීමාවන්ට ලේ ගැලීම අඩුවෙයි. හිරි වැටී, මාංශ පේෂි තදවී තිබෙනවා වගේ දැනෙනවා.
 
• ලේ - රුධිරය සැපයුමේ බාධක හේතුවෙන් අංශභාගය හා හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩිවෙයි.
 
Effects of smoking on the immune system:
දුම්පානයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට සිදුවන බලපෑම/හානි :

• නියුමෝනියාව හා සෙම්ප්‍රතිශ්‍යා උණ හා අසාදනයන්ට දරුණු ලෙසින් ගොදුරු විය හැකියි.
 
• දිගු කල් පවතින හා දරුණු රෝගයන්ට ගොදුරු විය හැකියි.
 
• ලේවල ඇති ආරක්ෂිත ප්‍රති-ඔක්සිකාරක ( විටමින් C වැනි) මට්ටම පහළට වැටේ.
 
The effects of tobacco smoke on the musculoskeletal system:
මෙම මාංශ පේශී හා අස්ථි පද්ධතියට සිදුවන බලපෑම/හානි :
 
• ඔබේ ශරීරයේ යම් යම් මස්පිඬු - මාංශ පේශී තදවෙන බවක් දැනිය හැකිය
 
• අස්ථි සවිශක්තිය, ඝනත්වය අඩුවෙයි.
 
The effects of tobacco smoke on the male body include an increased risk for:
පිරිමින්ගේ ශරීරයට දුම්බීමෙන් සිදුවන බලපෑම් දැඩි අවදානමකින් යුක්තයි :
 
• ඔබේ ශුක්‍රධාතුවල තිබිය යුතු සරු ශුක්රාණු ප්‍රමාණය අඩුවෙයි
 
• විකෘති ශුක්රාණු ප්‍රමාණය - ප්‍රතිශතය වැඩි විය හැකියි.
 
• ශුක්රාණු වල ඇති අගනා පාරම්පරික ජානමය ලක්ෂණ විනාශ කරයි.
 
• සිගරට් දුම් පානයෙන්, පුරුෂ ලිංගයේ ප්‍රාණවත් භාවය අඩුවෙයි. (ලිංගික බෙලහීනත්වය ඇතිවෙයි) මෙය සිදුවන්නේ සිගරට් දුම් නිසා ශිෂ්ණයේ ඇති රුධිර නාලවලට හානි සිදුවී, රුධිරය ගමන්කිරීම අවහිරවීම නිසයි.
 
The effects of tobacco smoke on the female body:
යොවුන් සහ වැඩිහිටි කාන්තාවන්ට  දුම්පානයෙන්  ලැබෙන තෑගි :
 
• දරුවන් ලැබීමට උදව්වන, ඩිම්බ කෝෂවල සාරවත් බව අඩුවෙයි.
 
• ඔසප් චක්‍රයේ වෙනස්කම්, අක්‍රමිකතා හෝ ඔසප් වීම සිදුනොවිය හැකියි.
 
• අවුරුදු එකක් හෝ දෙකකට කලින් ඔසප්වීම නතරවිය හැකිය. (ආර්තවහරණය)
 
• ගැබ්ගෙළ පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවෙයි.
 
• දුම්පානය කරන ‍කාන්තාව අවුරුදු 35 කට වඩා වැඩිනම් සහ උපත්පාලන පෙති පාවිච්චි කරන්නේ නම්, අංශභාගය හා හෘදයාබාධ සෑදීමේ වැඩි අවදානමක් තිබෙනවා.
 
Other effects of tobacco smoke on the body include:
වෙනත් ශරීර ඉන්ද්‍රියන්ට දුම්පානය කරන බලපෑම්  සහ දෙන තෑගි :
 
• ආමාශයේ හා බඩවැල්වල අසාමාන්‍ය රිදීමක් සහ දැවිල්ලක් ඇතිවීම
 
• කෑම - ආහාර දිරවන ආමාශයේ හා බඩවැලේ වේදනාකාරී තුවාල - වණ ඇතිවීමේ අවදානම වැඩිවීම
 
• යමක සුවඳ - දුගඳ දැනීම සහ කෑමබීමේ රසය දැනීම අඩුවෙයි.
 
• වයසට කලින් හම රැළි වැටෙයි.
 
• ඇස් නොපෙනීම - අන්ධභාවය සිදුවන අවදානම වැඩිවෙයි.
 
• විදුරු මසෙහි රෝග ඇතිවෙයි(periodontitis). කටින් එන දුර්ගන්ධය වැඩිවෙයි. මෙය සාමාන්‍යයෙන් ෆයරියා pyorrhea ලෙස හඳුන්වයි.
 

ඔබ දුම්පානය කරන්නෙක්, ඒකට ඇබ්බැහිවෙලා ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. නමුත් ඒ සියල්ලෙන් ඉවත්වෙලා, මිදෙන්න ඕනෙවෙලා තියෙනවා නම්, කිසිම විටක කණගාටුවෙන්න, පසුතැවෙන්න එපා. ස්වේච්ඡාවෙන් ඔබට උදව්කරන අය ඔබේ අත ළඟම - හතර වටේම ඉන්නවා. මේ සඳහා පහත දැක්වෙන ඕනෑම මාර්ගයකින් ඔබේ නියම නම, ගම තොරතුරු සඳහන් නොකර නිර්නාමිකව උදව් උපකාර ලබාගන්න පුලුවන් !

• ඔබේ වෛද්‍යවරයා
 
• ළඟම ඇති ඔබේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය
 
• ඔබේ ගුරුවරයා හෝ ශිෂ්‍ය උපදේශක හෝ අනුශාසකවරයා
 
• එහෙමත් නැත්නම් ඕනෑම දුරකථනයකින් අපගේ ජාතික "පොදු" ඇමතුම් අංකය -Quit line- වන 1948 ඩයල් කරලා, ඔබට උදව් කිරීමට සැදී පැහැදී සිටින නිර්නාමික උපදේශකයන් සමග කතා කරන්න. පළමුව ඔවුන් ඔබව තේරුම් ගනියි. නිවැරදි තොරතුරු කියලා ඔවුන් දැන්වත් කරන්න. එවිට ඔවුන් නිවැරදි අගනා සෞඛ්‍ය උපදෙස්, තොරතුරු ලබා දිලා, ඔබට, ඔබව මැනවින් තේරුම් ගැනීමට අවස්ථාවක් උදාකරලා දේවි.