මේක වයසකට අදාළ නෑ. ඔබ මොන වයසෙ හිටියත්, මාර්ග ආරක්ෂාවක් නැත්නම් පාරේ පරිස්සමින් යන්නෙ කොහොමද කියලා දැනුවත්වීම ඉතාම වැදගත්. ඔබ ගමන් කරන්නෙ පදික වේදිකාවකද? ඉන්නේ පාර හරහා මාරුවෙන තැනකද? නැත්නම් වාහනයක් පදවමින් ද? මේ මොනවා කළත්, මාර්ග නීතිය දැනගැනීම සහ ඊට ගරු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒක ඔබේ ආරක්ෂාවට විතරක් නෙවෙයි අනික් අයගේ ආරක්ෂාවටත් වැදගත්වන නිසයි. සෑම දිනකම, අපේ රටේ සහ ලොව පුරා රෝහල්වල හදිසි ප්‍රතිකාර වාට්ටු, මේ භයංකර මාර්ග අනතුරු කරගත් අයගෙන් පිරිලා ඉතිරිලා යනවා. බොහෝ අවස්ථාවල දී, මෙවැනි දරුණු විපත්වලට ගොදුරුවෙන්නෙ දරුවන් හා නව යෞවුන් තරුණ තරුණියන්. එවැන්නක් දෙමව්පියන් හා පවුලේ උදවියට දරාගන්න බැරි, "හෙණයක්" පාත්වුණා වගේ වෙන්න පුලුවන්.

සිදුවන මාරක රිය අනතුරු ගැන හිතුවාම අපට පෙනෙනවා ඒවාට පාරෙ යන දරුවන්, පදිකවේදිකාවල ගමන් කරන්නන්, බයිසිකල් සහ මොටර් සයිකල් පදවන්නන්, පුද්ගලික හා රජයේ බස් සහ කෝච්චිවල ගමන් කරන්නන්, නිතරම මාර්ග රිය අනතුරු වලට ගොදුරු වී පීඩාවට පත්වෙන බව.

මාර්ග ආරක්ෂාව සැමවිටම රඳාපවතින්නෙ, එම ළමයාගේ ශාරීරික හා මානසික වර්ධනය, යම් අවදානමකට මුහුණදීමේ දී ඔහු හෝ ඇය හැසිරෙන විදිය, හිතවතුන්ගෙන් ලැබෙන මානසික පීඩනය, සමාජ පීඩනය සහ අත්දැකීම් (හෝ අත්දැකීම් නොමැතිවීම) මත බවයි.

ළමයින්, වැඩිහිටියන් පෙන්වන කුඩා ආදර්ශ ප්‍රතිමාවක්, උදාහරණයක් නොවෙයි. ළමයින්ට පාරවල්, යාන වාහනවල හැටි සහ ඒවා පාවිච්චි කරන හැටි, ඔවුන්ගේ වැඩෙන ශාරීරික, මානසික හා සමාජයීය මට්ටමට අනුව දරාගන්න, තේරුම්ගන්න බැරි විශාල ප්‍රශ්නයක් හා ගැටලුවක් විය හැකියි. අනෙක් අතට, ළමයින් ආවේගශීලී, කලබලකාරී අය විය හැකි බැවින්, අතිශය බිහිසුනු කලබලකාරී තත්ත්වයක් පවතින විට එය තේරුම්ගෙන හැසිරීමේ දැනුමක් තේරුමක් නොමැතිව, දරුණු අනතුරකට ගොදුරු විය හැකියි.
ළමයින් බරපතල මාර්ග අනතුරු වලට ලක්වීමට පහත දැක්වෙන සීමාවන් ප්‍රධාන වශයෙන් හේතුවෙයි.

දරුවන්ගේ වර්ධනයේ සීමාවන්
දරුවෙකුගේ ශරීරයේ සෑම කොටසක්ම පවතින්නේ වැඩෙන, වර්ධනය වන අවස්ථාවකය. වැඩිහිටියෙකුට අනුව බලන විට හැම කොටසක්ම මෘදුය. සෞම්‍යය. දරුවන් කිසියම් අනතුරකට මුහුණදී තුවාල සිදුකරගත් විට ශාරීරිකව වැඩිහිටියන්ට වඩා අසරණ වෙයි.

දරුවන්ගේ ප්‍රමාණයේ සීමාවන්
ළමයා ප්‍රමාණවත් තරම් උස ගොස් නැති නිසා, අවට ඇති රථවාහන තදබදය දැකීමට අපහසු වූවා විය හැකියි. එමනිසා වාහන රියදුරන්ට හා අනෙකුත් පදිකයින්ට ද ළමයා නොපෙනිය හැකියි.


දරුවන්ගේ පෙනීමේ සීමාවන්
දරුවන්ට තමුන්ට පෙනෙන දේවල්වල ප්‍රමාණය, ගැඹුර පිලිබඳ හැඟීම, දැනීම අඩුය. ඒ නිසා ඔවුන්ට තමන් සහ වෙනත් වස්තු අතර ඇති දුර ප්‍රමාණය, විශේෂයෙන්ම දෙගොල්ලෝම ඉදිරියට එන විට, හිතාගන්නට අමාරුවෙයි. බැරිවෙයි.

දරුවන්ගේ ඇසීමේ සීමාවන්
කුඩා දරුවන්ට ඇන්ජිමේ ශබ්දයෙන් තමන් වෙත එන වාහනයේ ප්‍රමාණය හා වේගය හඳුනාගැනීමට අමාරුයි. ඒ වගේම එම වාහන ශබ්දය එන්නේ කොහෙන්ද, වාහනය එන්නේ කොහෙන්ද කියලා හරියටම දැනගන්නත් අමාරුයි. ඇසීම-ශ්‍රවණය මණින මිණුමට අනුව, වයස අවුරුදු 3 ක් හෝ 4 ක් අතර දරුවෙකුගේ ඇසීමේ හැකියාව, වැඩිහිටියන්ගේ ඇසීමේ හැකියාවට වඩා අංශක 7 සිට 12 දක්වා ප්‍රමාණයකින් අඩු ය. වයස අවුරුදු 6 දරුවන්ට පවා රථවාහන ශබ්ද එන දිශාව හඳුනාගැනීමේ ප්‍රශ්න තිබෙනවා. ළමයින් ඔවුන්ගේ මිතුරන් සමඟ සෙල්ලම් කරමින් හෝ වෙනත් බාහිර දෙයක් ගැන කතාකරමින් පැමිණෙන විට මාර්ගයේ පවතින වාහන තදබදය හෝ ශබ්ද ඇහෙන්නෙ නැහැ.

දරුවන්ගේ අවධානයේ සීමාවන්
පාරේ ගමන් කිරීම බරපතල, සංකීර්ණ ව්‍යාකූල සහගත දෙයක්. ඒ නිසා පාරේ යන අය සෑමවිටම බොහෝ දේවල් ගැන කල්පනාවෙන් ඉන්ඩ ඕනේ. ඒ වුණාට ළමයින්ගේ අවධානය පවතින්නේ කෙටි කාලයකට වගේම එක වරකට එක ප්‍රශ්නයකට වඩා අවධානය යොමු කරන්න ඔවුන්ට බැහැ. හදිසියේ පා‍රේ සිදුවන කිසියම් සිද්ධියක් නිසා ඔවුන්ගේ අවධානය ඒ දෙසට යොමුවිය හැකියි. ළමයින්ගේ අවධානය පහසුවෙන් නොමග යා හැකි අතර හා එකවර කාර්යයන් දෙකක් සඳහා අවධානය යොමු කළ නොහැකියි. උදාහරණයක් කියනවා නම්, ඔවුන් පාරක් අසල බෝල ගසමින් සිටින විට බෝලය පාරට ගියහොත්, පාරේ යන වාහන ගැන හිතන්නෙ නැහැ. ඔවුන්ගේ අවධානය තියෙන්නෙ බෝලය ගැන විතරමයි. තමන් වෙත එන වාහනයේ වේගය හා ළංවීමට වඩා සමහරවිට වාහනයේ පාට කෙරේ ආසාවක් උනන්දුවක් ළමයා තුළ ඇතිවෙන්න පුලුවන්.

දරුවන්ගේ දැක්මේ සහ අවබෝධයේ සීමාවන්
ආරක්ෂිතව පාර හරහා යෑමේදී හෝ පාරවල් කීපයක් හමුවන මංසන්ධියකදී සැලකිලිමත් විය යුතු ආකාරය ගැන, එනම් වාහනයේ විශාලත්වය, වේගය, ශබ්දය, කාලය සහ දුර ගැන, එකවර සිතීමේ හැකියාවක් ළමුන්ට නැහැ. වයස අවුරුදු 5 දක්වා ළමුන්ට නවත්වා තිබෙන වාහනයක් සහ ගමන් කරන වාහනයක් අතර ඇති වෙනස තේරුම්ගන්න බැහැ. බොහෝවිට වම, දකුණ අතර ඇති වෙනස හරියටම හඳුණාගන්නත් බැහැ. ඒ නිසාම පාර ‍හරහා මාරුවීමකදී ප්‍රශ්න ඇතිවෙනවා. ඔවුන්ට පාර හරහා මාරුවීමට කලින් නැවතී බලන්නට හෝ ගමන පොඩ්ඩක් හෙමින් යාමට දැනුමක්, හැකියාවක් නැහැ.

වයස 6 ට වඩා අඩු කුඩා ළමුන්ට කලාතුරකින් තවත් පුද්ගලයෙකු කරන දේවල් කිරීමට හැකි වෙයි. කාර් එකක් දකින ළමයා, තමාව ද එසේම රියදුරාට පේනවා ඇති කියලා හිතනවා. එමනිසා දරුවාට පාරේ අනතුරුදායක තැන් හඳුනාගත නොහැකි වන අතර ඒවා සාමාන්‍යයෙන් තමන්ට පෙනෙන මෝටර් රථ දර්ශනය මතම රඳාපවතී.

ළමයින්ට එක් වැඩක් කරමින් සිට තවත් වැඩකට යොමුවීම සඳහා ක්ෂණිකව අවධානය යොමු කිරීමට බැහැ. ළමයෙකු වයස 20 ක් හෝ 25 ක් කරා ළඟා වන තෙක්ම, යමක් විනිශ්චය කිරීම, තීරණ ගැනීම, විචාරය හා ආවේග පාලනය කරන මොළයේ යම් යම් ප්‍රදේශ වඩාත් පරිණතව හොඳින් වැඩෙන්නෙ නැහැ,

ඔබ දන්නවාද මහා මාර්ගවල දී සිදුවන අනතුරු වලින් .......

  •  ලොව පුරාම සිටින තරුණ තරුණියන් බොහෝ දෙනෙකුගේ මරණ සිදුවන බව
  •  සංවර්ධනය වෙමින් පවතින රටවල, වසර 5 වැඩි දරුවන් සඳහා බලපාන ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයක් බව
  •  වාර්ෂිකව ළමයින් 186 300 ගේ පමණ ජීවිත අනතුරු වලින් බිලිගන්න බව
  •  ලෝකයේ කොහේ හරි මාර්ගයකදී සිදුවන අනතුරකින් සෑම විනාඩි 4කට වරක්ම ළමයෙකු මැරෙන බව
  •  සංවර්ධිත රටවලට වඩා සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම මරන තුන් ගුණයකින් වැඩි බව
  •  ලොව පුරා අවුරුදු 15 සහ 44 අතර වයස තරුණ වැඩිහිටි අය 59% ක් මැරෙන බව
  •  ශ්‍රී ලංකාවේ සෑම දෙදිනකට වරක්ම වයස අවුරුදු 20 ට අඩු එක් දරුවෙක් මහ පාරේදී මැරෙන බව

සටහන 1 : පිරිමි ළමුන් මාර්ග අනතුරු වලට ලක්වීමේ ඉහළම අවධානමක් ඇත. ගෝලීය සංඛ්‍යාලේඛන වලට අනුව, වයස වැඩිවීමත් සමගම, වයස් කාණ්ඩය සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව, වයස 25 ක් වූ තරුණයින්ට (ගතවූ වසර ගණනාවක් තුළ) මාර්ගයේ දී සිදුවූ මරණ සංඛ්‍යාව අනුව, පිරිමි ළමුන් වාහන අනතුරු වලට ගොදුරුවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව පෙන්වා දී තිබෙනවා. එමනිසා, ඔබ තරුණ පිරිමි කෙනෙක් නම්, මාර්ගයේ දී පරිස්සම් විය යුතුයි.

සටහන 2 : අද දරුවන් ශරීරය නොවෙහෙසීම, කෘතිම ආහාරගැනීම, කම්මැළි ජීවන රටාව, රූපවාහිනිය නැරඹීමට වැඩි කාලයක් ගතකිරීම, කොම්පියුටර් තුළින් ක්‍රීඩාකිරීම ආදිය නිසා, යම්කිසි දෙයකට අවධානය යොමුකිරීමේ හැකියාව ඔවුන් තුළින් ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව දන්නවාද ? එමනිසා, ළමයින් පාරේ ගමන් කිරීමේදී තිබිය යුතු රථවාහන වලින් ආරක්ෂාවීමේ හැඟීම පවා දියුණු නොවිය හැකියි.

සටහන 3 : බොහෝ දෙමාපියන් විවිධ අවශ්‍යතා සඳහා දරුවන්ගේ පහසුව සඳහා (පාසල් යාමට සහ ඒමට, ක්‍රීඩා පුහුණුවලට) තම වාහනය පාවිච්චි කරන නිසා, දරුවන් මහා මාර්ගවල, පාරවල්වල යනඑන හැටි දන්නෙ නැහැ. පාරක, මහා මාර්ගයක, යම් ප්‍රශ්නයක්, ගැටළුවක් ඇති වුවහොත්, ඊට මුහුණදෙන්නෙ කොහොමද කියලා ඉගෙනගන්න අවස්ථාවක් ලබාදීලා නැහැ. එමනිසා, වයස අවුරුදු 20 දී පවා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තවමත් බස්වල, කොච්චිවල, මහා මාර්ගවල, පාරවල්වල යන එන හැටි දන්නෙ නැහැ.


තරුණයින් බොහෝ දෙනෙක් වාහනයක් පදවමින් හෝ පදිකවේදිකාවල යන්නන් ලෙස හෝ ඔවුන් කරන කියන දෙයින් මොන දේ සිද්ධ වුණත් වැඩි අවදානමක් ගන්න කැමති පිරිසක්. අනතුරුදායක විය හැකි වුණත්, එය ඔබේ තරුණකමේ ස්වභාවය. මේ හැසිරීම තරුණියන්ට වඩා තරුණයින් අතර පොදු වශයෙන් දකින්න පුලුවන්.

ප්‍රධාන වශයෙන් යාලුවන්ගේ, හිතවතුන්ගේ ඉල්ලීම් සහ බලපෑම මත මාර්ග තදබදයක් තිබෙන වෙලාවක, එහෙට මෙහෙට තම වාහනය හරවමින් අනෙක් වාහන වේගයෙන් පසුකර යාම වැනි බොහෝ අවදානම් සහගත "වීරක්‍රියාවන්" කිරීමට තරුණ ඔබ පෙළඹෙන්න පුලුවන්. ඔබට එවැනි "බොළඳ" හිතවතෙක් සිටීම වැදගත් විය හැකි නමුත් සමහරවිට මේ හිතවතා ඔබේ දෙමව්පියන්ට වඩා ඔබේ හැසිරීම් සඳහා බලපෑම් කරන්නෙක් විය හැකියි. ඔහු කෙරේ ඇති හිතවත්කම ඔප්පුකර පෙන්වීමට ඔබද ඔහුගේ "බොළඳ" අභියෝග පිළිගනිමින් ඇතැම් විට ජීවිතයට අනතුරුදායක, තර්ජනයක් ගෙනඑන "වැඩ පෙන්වන්න" යාවි. එහෙම වැඩ පෙන්වන්න යාමෙන් වෙන්නෙ, ඔහුගේ ජීවිතය මෙන්ම ඔබගේ ජීවිතයත් දරුණු හදිසි මාරක අනතුරක හෝ බිහිසුණු මරණයක අවදානමකට ලක්වීමයි.

විනාශදායක, බිහිසුණු, මරණය පවා අත්කරදෙන මේ "බොළඳ වීරක්‍රියා" තේරුම් ගැනීමෙන්, ඒවායින් මිදීමෙන්, ඔබට ජීවිතේ කිසියම් වෙනසක් ඇතිකර ගැනීමට මෙන්ම, තවත් ජීවිත රැසක් බේරාගැනීමටත් පුලුවන්. එය ඔබ පරිණත, සුපරික්ෂාකාරී, වැරදි නොකරන, වගකීම් දැරිය හැකි හා සමාජයට ඉටුවිය යුතු යුතුකම් සහ සේවය මැනවින් දන්නා වැඩිහිටියෙක් ලෙස තබන පළමු පියවර විය හැකියි. "බොළඳ වීරයෙකු" වෙනවාට වඩා රටට සමාජයට වැඩදායි "සොඳුරු මිනිසෙකු" වෙන එක බෙහෙවින්ම සුන්දරයි.

FaLang translation system by Faboba