අතට අහුවෙන දේ හෝදන්නෙ නැතිව කටේ දාගන්න ගියොත් පණු ගාය හැදෙන එකෙන් ඔයාට ගැලවිල්ලක් වෙන්නේ නෑ. ඒ නිසා තමයි පොඩි ළමයින් අතරත්, නව යොවුන් වියේ පසුවන ඔයාලා වගේම ලොකු අය අතරත් මේ පණු රෝගය පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ආහාර වලින් විතරක් නෙමෙයි මැස්සන්, මදුරුවන් මගිනුත් විවිධ පණු රෝග වැළදෙනවා. පණුවන් සිරුරට ඇතුළු වුනාට පස්සේ පියවර ගණනාවකින්ම සිරුරට විශාල හානි කරමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ පවුලේ අයටත් ඒ ලෙඬේ බෝ වෙනවා. ඉතින් ඊට පස්සේ මුළු පවුලටම ප්‍රතිකාර ලබා ගන්න සිදු වෙනවා. ඒත් හොඳ සෞඛ්‍යය පුරුදු පිළිපදිනවා නම් පණු රෝග වළක්වා ගන්න ඔයාටම පුළුවන්.

- කොකු පණුවා
- වට පණුවා
- කිරි පණුවා
- කස පණුවා
- හරක් පටි පණුවා
- ඌරු පටි පණුවා
- බරවා පණුවා

කොකු පණුවා ඔයාගේ සිරුරට ආවොත් අන්ත්‍ර බිත්ති වල එල්ලිලා ලේ බොමින් පරපෝෂීත ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. එයා ඒ තැනින් ඉවත් වෙන්නේ ඒ අන්ත්‍ර බිත්ති වලින් නිරන්තරව රුධිරය වහනය වෙන සිදුරු ඇති කරලා.

කොකු පණුවන් ඔයාගේ සිරුරට එන්නේ කොහොමද?
- කොකු පණු බිත්තර හොඳින් වැඩෙන්න නම් උණුසුම් හෝ තෙත් පසක් අවශ්‍ය වෙනවා.
- කොකු පණු පිළවුන්ට පුළුවන් ඔයාගේ පාදයේ විශේෂයෙන් විළුඹ හා පතුලේ සම සිදුරු කරමින්  සිරුරට ඇතුළු වෙන්න.
- පාවහන් නැතිව ඇවිදලා මළ සහිත පස් පෑඟීමට ලක් වුනොත් ඔයාගේ සිරුරට මේ රෝගය  ඉක්මනින්ම එනවා.

රෝග ලක්ෂණ-
- සිරුරේ ඉන්න පණු ගහනය අඩු නම් ඔයාට කිසිම රෝග ලක්ෂණයක් නොදැනෙන්න පුළුවන්.
- ඔයාගේ පාදවල කොකු පණු පිළවුන් ඇතුළු වූ තැන් තදින් කැසීම නිසා කවාකාර දිය බුබුලු වැනි  තුවාල ඇති වෙනවා.
- රෝගය තදින් ඇති නම් යකඩ ඌනතාවය/ රක්ත හීනතාවය ඇති වෙන්නත් පුළුවන්. එතකොට  ඔයාට  කම්මැලිකමත්, නිදිබර ගතියක් දැනෙන්න ගන්නවා. ඇඟ සුදුමැලි වෙනවා.
- සමහර විට බඩේ වේදනාව, ඔක්කාරය හා ඉදිමුම වගේ තත්ත්වයන් ද ඇති වෙන්න පුළුවන්.

දරුණු තත්ත්වයේ දී කොකු පණුවා සිරුරේ ප්‍රෝටීන උරා ගැනීම නිසා දීර්ඝකාලීනව බර අඩු තත්ත්වයට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම හෘදය අඩපනවීම වුණත් වෙන්න පුළුවන්.

ඉක්මනට ප්‍රතිකාර කරගනිමු
- ඔයාට කොකු  පණු රෝගය වැළඳී තියෙනවද කියලා ස්ථිරව දැනගන්න නම්     මළවල පණු බිත්තර ඇත්දැයි පරීක්ෂා කරන්න වෙනවා.
- රක්ත හීනතාවය ඇති වීම වළක්වා ගන්න පූර්ණ රුධිර පරීක්ෂණයක් (FBC) කරන්න වෙනවා. එතනදි ඔයාට ලබාදෙන ප්‍රතිකාර අතර පිරන්ටෙල්පැල්මෝට්, ඇල්බැන්ඩසෝල් හා මෙබැන්ඩසෝල් යන බේහෙත් වර්ග තියෙනවා.
- රක්තහීනතාවයේ දී ඇතිවන යකඩ ඌනතාවයට යකඩ අතිරේක අඩංගු ප්‍රතිකාර ගන්නත් සිද්ධ වෙනවා.

කොහොමද මේ කොකු පණු රෝගයෙන් වැළකෙන්නේ?
ඒකහරි ම ලේසියි.

- ඔයා නිසියාකාර වැසිකිලියක් පාව්චිච් කරන්න. වැසිකිළි ගිහින් පැමිණි වහාම අත් සෝදන්න.
- මළ සහිත පස් තියෙන බිම්කඩවල පාවහන් නැතිව ඇවිදීමෙන් වළකින්න.
- මිනිස් මළ ද්‍රව්‍යයන් කිසිසේත් පොහොර ලෙස භාවිතා නොකරන්න.

ඔයාව ලෙඩ කරන, ලජ්ජාවට පත් කරන පුංචිම පණුවා තමයි කිරි පණුවා. ජීවිත කාලයම ඔයාගේ සිරුර ඇතුලේ ගත කරන මේ පණුවා වැඩුණු පසු මහා අන්ත්‍රයේ පහළ කොටසට හා ගුද මාර්ගයට පැමිණෙනවා. රාත්‍රී කාලයේ පිටතට පැමිණ ගුද මාර්ගය අවට රැදෙනවා. ඒ අවට පිට රවුමේ බිත්තර දමනවා.
 
කොහොමද මේ කිරි පණුවන් ඔයාට එන්නේ
- කිරි පණු ගැහැනු සතාට බිත්තර දහස් ගණන් දැමීමේ හැකියාව තියෙනවා. ඒවා කිරි පණු  රෝගියෙකුගේ ගුද මාර්ගයෙන් ඇඳ ඇතිරිලි, රාත්‍රී ඇඳුම්, අත් හා නියපොතු, ගෘහ භාණ්ඩ, නාන කාමර,කෑම බීම, නිවසේ දූවිලි දක්වා ගොස් අන් අයට පැතිරෙන්න පුළුවන්. මොවුන් ඇතැම් වට ගුද මාර්ග අසල වැඩී ඇතුළට ගමන් කර දරුණු ආසාදනයන් ද ඇති කරනවා.
- මේ විදිහට වෙනත් පුද්ගලයෙකුගේ සිට මුඛ මාර්ගයට ඇතුළ වන කිරි පණුවා ඔයාගේ ආහාර  ජීර්න මාර්ගයේ නව ජීවිතයක් අරඹන්න හරි දක්ෂයෙක්.
 
ඔයාටත් කිරි පණු රෝගය තියෙනවාද කියා දැන ගන්නේ කොහෙමද?
- රාත්‍රියේ දී හා උදැසන දී ගුද මාර්ගය අවට තදින් කැසීම හා වේදනාවක් ඇති වෙනවා නම්.
- නින්ද යන්නේ නැතිනම්.
- උදර වේදනාවක් හා කෑම අරුචියක් ඇති වෙනවා නම් ඒ කිරි පණු රෝග ලක්ෂණ යි.
 
ඒත් බොහෝ අවස්ථාවල කිසිදු රෝග ලක්ෂණයක් නොදක්වාම කිරි පණු රෝගය ඇති වෙන්නත් පුළුවන්.
 
ප්‍රතිකාර මොනවා ද?
- ගුද මාර්ගයට පිටතින් ස්ටිකර් කඩදාසියක් තබා පණුවන්ගේ සාම්පලයක් ගන්න ඔයාට පුළුවන්.  ඒක කරන්න ඕනෙ දවසේ උදේ ඒ හරිය සෝදන්න කලින්. මේ විදිහට ගන්න කිරි පණු බිත්තර අන්වීක්ෂණයකින් හඳුනා ගන්න හැකියාව ලැබෙනවා.
- රෝගය හඳුනා ගත් විට පිරන්ටෙලපැල්මෝට්, ඇල්බැන්ඩසෝල් හා මෙබැන්ඩසෝල් යන  බේහෙත් වර්ග අවම වාර 3ක් වත් ගන්න වෙනවා.
- කිරි පණුවන් පහසුවෙන් පැතිරෙන නිසා ඔයාගේ පවුලේ සියළුම සාමාජිකයින් ද ප්‍රතිකාරවලට  යොමු වෙන එකයි හොඳම දේ.
 
කිරි පණු රෝගයෙන් වැළකීම අපහසු නෑ.
- ඔයා කෑමට පෙර හා වැසිකිළි යාමෙන් පස්සේ හොඳින් අත් සෝදන්න ඕනැ, 
- මේ රෝගය හැදුන අය ඇඳ ඇතිරිලි හා තුවා වගේ දේවල් පොදුවේ පාවිච්චි කිරීනේ වළකිනවා නම් මෙය බෝ වීම වළක්වා ගන්න පහසුයි.
- ඒ වගේම පොඩි අයට මේ රෝගය තියෙනවා නම් එයාලා පසුපස ප්‍රදේශය කැසීම හා ඇඟිලි ඉරීම වැනි ක්‍රියාවන් ගෙන වළක්වන්නත් වෙනවා.
 
ඔයාට හානි කරන දිග සෙ.මී 30 දක්වා වැඩෙන විශාලම පණුවා තමයි මෙයා. වැඩුණු වට පණුවා කුඩා අන්ත්‍රවල ජීවත්වන අතර, ජීවන චක්‍රයේ සමහර අදියර රුධිර ධාරාවේ සහ පෙනහළුවල ගත කරනවා. රෝගය උග්‍ර අවස්ථාවල වට පණුවා හෘදය, වකුගඩු වැනි අනෙකුත් ඉන්ද්‍රියන්ට ද ඇතුළු වෙන්න ඉඩ තියෙනවා.
 
කොහොමද මේ වට පණුවා ඔයාගේ සිරුරට ඇතුළු වෙන්නේ?
- ආහාරවල වට පණු බිත්තර තියෙන්න පුළුවන්. ඒවා කෑමට ගැනීම නිසා මේ රෝගය ඔයාට  වැළදෙනවා.
- ඒ විදිහට වට පණු බිත්තර මුඛයෙන් ඇතුළු වෙලා කුඩා අන්ත්‍රය සිදුරු කරගෙන රුධිර ධාරාවට  ඇතුළු වෙලා පෙනහළු දක්වා ම යනවා.
- එතැනින් නැවත කුඩා අන්ත්‍රයට එන වට පණුවා වැඩුණු තත්ත්වයට පත්වෙනවා.
 
කොහොමද හරියටම දැනගන්නේ?
- බොහෝ අයට වට පණුවන් හිටියා කියලා රෝග ලක්ෂණ පෙන්වන්නෙ නැහැ.
- වට පණු පිළවුන් පෙනහලුවල ලොකු වෙනකම් වැඩුනොත් ලෝෆ්ලර්ස් සින්ඩ්‍රොම් කියන  අසාත්මික ප්‍රතික්‍රියාවන් සමහර අයට ඇති වෙනවා.
 
පහත රෝග ලක්ෂණවලින් වට පණු රෝගය හඳුනා ගන්න ලේසියි.
- වියළි කැස්ස
- උන
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- හතිය
- උදර වේදනාව
- ඔක්කාරය
- උගුරේ පුරු පුරු ගැසීම
- ඇපෙන්ඩිසයිටිස්

වට පණු රෝගයට ප්‍රතිකාර මොනවාද?
අන්වීක්ෂයකින් මල සාම්පලයක් පරීක්ෂා කරලා වට පණු බිත්තර හඳුනා ගන්න පුළුවන්. ඒත් මුල් අදියර වල දී ඒ ක්‍රමයට පරීක්ෂා කලාට වැඩක් වෙන්නෙ නෑ.
ලෝෆර්ස් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන අයෙක් නම් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් එනම් FBC  සිදු කළ යුතුයි. එවිට රුධිරයේ වර්ධනය වූ ඊසිනෝප්ලිස් සෛල හඳුනා ගන්න පුලුවන් වෙනවා.
ඔබට ප්‍රතික්‍රියාකාරී ඖෂධ වන මෙබැන්ඩසෝල්, ඇල්බැන්ඩසෝල් මගින් කරන ප්‍රතිකාර ලබා ගන්නත් සිදු වෙනවා.
 
වට පණු රෝගය වළක්වා ගන්න පුළුවන් වෙන්නෙත් ඔයාටම යි

- ඔයා වැසිකිළි භාවිතයෙන් පසුවත්" කෑමට පෙර වගේම ආහාර ද්‍රව්‍ය ඇල්ලීමට පෙරත් සබන් දමා  අත් සෝදනවා නම්.
- එළවලු හා පලතුරු අනුභවයට පෙර ඒවා හොඳින් සෝදනවා නම්.
- මිනිස් අපද්‍රව්‍ය ජල මුද්‍රිත වැසිකිළි තුළට දමනවා නම් හා ඒවා කිසි විටෙකත් පොහොර ලෙස  භාවිතා නොකරනවා නම්.
- ඇඳ ඇතිරිලි සෝදා ඍජු හිරු එළියේ නිතර වේලා ගන්නවා නම්.
ඔයාට වට පණු රෝගය බෝ වීමේ අවස්ථා වළක්වා ගන්න පුළුවන් වෙනවා.
 

{slider කස පණුවා }

කසයක් ආකාරයේ හැඩයෙන් යුක්ත නිසා කස පණුවා නමින් හඳුන්වනවා. වැඩුනු පණුවන් ඔයාගේ මහා අන්ත්‍රයේ ඉන්න පුළුවන්.
 
කොහොමද කස පණුවා සිරුරට එන්නේ
ඔයා ගන්න ආහාරවල කස පණු බිත්තර තිබුණොත් ඒ හරහා ඔයාගේ සිරුරට කස පණු රෝගය බෝ වෙනවා.
 
රෝග ලක්ෂණ හඳුනා ගන්නේ කොහොමද?
කස පණු රෝග ලක්ෂණ මතු වෙන්නේ ඔයාගේ සිරුර තුළ සිටින කස පණුවන් ප්‍රමාණය අනුවයි. කස පණුවන් කුඩා සංඛ්‍යාවක් නම් ඉන්නේ කිසිම රෝග ලක්ෂණයක් ඔයාගෙන් මතුවෙන්නේ නැහැ.
 
කසපණුවන් දහස් ගණන් සිටින විට දී මෙවැනි රෝග ලක්ෂණ ඔයාට ඇති වන්නට පුලුවන්.
- ඔක්කාරය
- උදර වේදනාව
- මල බුරුල්ව යාම හෝ මළබද්ධය
- මල සමඟ රුධිරය පිටවීම
- නිතර අධෝවාත පිටවීම
 
ප්‍රතිකාර හඳුනා ගනිමු
කස පණු සාම්පල අන්වීක්ෂයක් මඟින් පරීක්ෂාවෙන් කස පණු බිත්තර හඳුනා ගන්න පුළුවන්.
කස පණු රෝග සඳහා ප්‍රතිකාරක ඖෂධ වන මෙබැන්ඩසෝල් හා ඇල්බැන්ඩසෝල් ලබා ගන්නත් ඔයාට සිදු වෙනවා.
 
කොහොමද කස පණු රෝගය වළක්වා ගන්නේ?
- ඔයා වැසිකිළි යාමෙන් පසුව, කෑමට පෙර හා කෑම වර්ග ඇල්ලීමට පෙර සබන් දමා අත්  සෝදන්න.
- පලතුරු හා එළවළු කෑමට පෙර හොඳින් සෝදා ගන්න.
- කෘෂි කර්මාන්තයේ දී මිනිස් අපද්‍රව්‍ය පොහොර ලෙස භාවිතා නොකරන්න.
 
පටි පණුවා දිගින් මීටර් කිහිපයක් දක්වා වුව ද වැඩෙන්න පුළුවන්. පටි පණුවාගේ ජීවන චක්‍රය ආරම්භ වෙන්නේ ඌරන් හා හරකුන් තුළ. ඉතිරි ජීවන කාළය මිනිස් සිරුර තුළ ගත වෙනවා. ආහාර ජීර්ණ මාර්ගයේ සිට රුධිර ධාරාව ඔස්සේ විවිධ ඉන්ද්‍රියන් කරාද පැතිරෙනවා.
 
කොහොමද පටි පණුවන් ඔබගේ සිරුරට එන්නේ?
බාගයට පිසින ලද හරක් මස් හෝ ඌරු මස්වල පිලව් අවස්ථාවේ පටි පණුවන් සිටින්න පුලුවන්. ඔයා ඒවා ආහාරයට ගත් විට මේ රෝගය වැළදෙනවා.
 
රෝග ලක්ෂණ හඳුනා ගන්නේ කොහොමද?
ඔයාට රෝගය වැළඳී තියෙන්නේ යාන්තමින් නම් එවිට කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑ.
තත්ත්වය බරපතල වූ විට ඔයාගේ බර අඩු වීම, කැරකිල්ල, උදර වේදනාව, බඩ බුරුලට යාම, හිසේ කැක්කුම, ඔක්කාරය, මලබද්ධය හා කෑම අරුචිය වගේ දේවල් ඇති වෙන්න ගන්නවා.
 
කොහොමද පටි පණු රෝගය වැළක්වා ගන්නේ?
− මස් වර්ග නිවැරදිව හා නිසි ලෙස පිස ගන්න.
− සෑම විටම මලපහ කිරීම සඳහා නිසියාකා වැසිකිලි භාවිතා කරන්න. 
− මල අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරන්න.
− නිවැරදිව අත් සෝදන්න.
 

{slider බරවා හෙවත් ෆයිලේරියා}

මෙය බෝ වෙන්නේ මදුරුවන් දෂ්ඨ කිරීමෙන්. පිලව් අවස්ථාවේ සිටින පණුවා රුධිර ධාරාවට ඇතුළු වීම මගින් බරවා රෝගය වැළදෙනවා. බරවා පණුවන් ප්‍රධාන වශයෙන් ශරීරයේ වසා පද්ධතියේ තමයි ඉන්නේ. නමුත්, සමහර වර්ග සිරුරේ කුහරවල හරි සම යට තියෙන මේද තට්ටුවේ හරි ජීවත් වෙනවා. මිනිස් සිරුරට ඔවුන්ගේ ඍජු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. පණුවන් හා ඔවුන්ගේ පිලව් අවස්ථාවට සිරුර ඇති කරන ප්‍රතික්‍රියාව මයික්‍රෝෆයිලේරියා ලෙස හඳුන්වනවා.
 
කොහොමද බරවා රෝගය ඇති වෙන්න්?
කළින් පැවසූ විදිහට පණු පිලවුන් රුධිර ධාරාවට ඇතුළු වන මදුරු දෂ්ඨනයක් වුනොත් මෙම රෝගය වැළඳෙනවා.
 
රෝග ලක්ෂණ මොනවා ද?
බරවා රෝගයේ උග්‍ර අවස්ථාවේ දී පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.
- උන
- කිහිල්ලේ හෝ ඉකිලි වල වසා ගැටිති ඉඳිමීම.
- පෙනහළුවල මයික්‍රෝෆයිලේරියා ඇති විට TPE (Tropical Pulmonary Eosinophilla) ඇති  වෙනවා. රෝගයට නැඹුරුතාවයක් ඇති පුද්ගලයකු තුළ තිබෙන රෝග ලක්ෂණයක් තමයි  වියලි  කැස්ස.
- සම යට මේද තට්ටුවේ වෙසෙන පණුවන් සිටින විට සමේ දද හා කැසීම ඇති වෙනවා.
- සමහර පණු වර්ගවල බලපෑමෙන් ඇස් අන්ධ වෙන්න පුළුවන්.
 
දරුණු ආසාදනයක දී ඔබගේ ලිංගේන්ද්‍රිය හා පාද ඉදිමීම ඇති වෙනවා. නිතර නිතර මෙම ඉඳිමුම් ඇති වීමෙන් ආපසු හැරවිය නොහැකි එලිපන්ටියාසිස් (Elephantiasis) නම් තත්ත්වය ඇති වෙනවා.
 
ප්‍රතිකාර හඳුනා ගනිමු
රුධිර හා මුත්‍රා සාම්පලයන් අන්වීක්ෂණයකින් පරීක්ෂා කිරීමේදී මයික්‍රෝෆයිලේරියා හඳුනාගන්න පුළුවන්.
ගැඹුරු පටකවල සිට පිලවුන් රාත්‍රියට මතුපිට රුධිර ස්ථරයට පැමිණෙන නිසා, මේ පරීක්ෂාව සඳහා රුධිර සාමිපල ලබා ගන්නේ රාත්‍රී කාලයේ දී.
මේ සඳහා ප්‍රතිකාර ලෙස ඇල්බැන්ඩසෝල් හා ඉවර්මෙටසින් සංයෝගයක් ලබා දෙනවා. රෝගකාරක පණුවා සිරුරින් මුලුමනින්ම ඉවත්වන තුරු දීර්ඝකාලීනව ප්‍රතිකාර ගන්න සිද්ධ වෙනවා.
ලිංගික අවයවවලට බලපෑම් ඇති වෙන සමහර අයට ශල්‍යකර්ම කරන්නත් වෙනවා.
රෝගය සම්පූර්ණයෙන් පහවී ඇත්දැයි දැනගැනීමට ප්‍රතිකාරවලින් පස්සේ මාස කිහිපයක් රුධිර පරීක්ෂණවලින් පසුවිපරම් කරන්න ඕනෙ.
පාදවලට බලපෑම් ඇති වුනොත් ඒවා පිරිසිදුව තබා ගැනීමට අවශ්‍ය පමණ ව්‍යායාම කිරීමට හා තුවාල ඇති වීම වැළැක්වීමට විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා.
 
TPE ප්‍රතිකාර

බරවා රෝගය වළක්වා ගන්නේ කොහොමද?
රෝගය වළක්වා ගන්න නම් රෝග කාරක මදුරුවා දෂ්ඨ කිරීම මේ ආකාරයන්ගෙන් වළක්වා ගන්න ඕනෙ.
මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කිරීම හා දූෂිත ජලය පල්වීම වළක්වා ගන්න වෙනවා.
මදුරුවා පිලව් අවස්ථාවේදී විනාශ කිරීම. මේ සඳහා ඔවුන් උපදින ස්ථාන වලට මදුරු පිලව් ආහාරයට ගන්නා මසුන් යොදන්න පුළුවන්.
මදුරු දැල්, මදුරු විකර්ශන වැනි දේවල් භාවිතයෙන් මදුරු දෂ්ඨනයෙන් වළකින්න පුළුවන්.
මහජන සෞඛ්‍යය සේවාවන් විසින් සිදු කරන මහජන ප්‍රතිකාර වැඩසටහන් වල දී රෝගය වැළැක්වීමේ ඖෂධ ලබා ගන්නත් ඔබට පුළුවන්.